ගංවතුරෙන් වන හානිය අවම කර ගන්නට වෙර දරන තවත් ව්‍යාපාරික‍යෝ
Verité Research
16 අගෝස්තු 2019

ස්වාභාවික විපත් වල අවදානම අවම කරමින් එම ආපදා වලට සාර්ථකව මුහුණ දිය හැකි නගර සංඛ්‍යාව වැඩි කිරීම, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්කයන් අතර ඉතා වැදගත් ඉලක්කයකි. මේ සඳහා සැලසුම් කරද්දී, ප්‍රදේශවාසීන්ගේ අත්දැකීම්, අදහස් සහ යෝජනා මෙන්ම ඔවුන්ගේ සක්‍රිය දායකත්වය ඉතා ප්‍රයෝජනවත්ය.

රත්නපුරය යනු ගංවතුරෙන් නිරන්තරයෙන් පීඩාවට පත්වන මිනිසුන් සිටින නගරයකි. මේ රත්නපුර නගරයේ සුළු සහ මාධ්‍ය පරිමාන ව්‍යාපාරිකයන්, ගංවතුරින් වන හානිය අවම කර ගන්නට ගෙන ඇති පියවර සහ ගත හැකි පියවර පිළිබඳ අප සමග පැවසු අදහස් රැගත් දෙවන ලිපියයි. (පෙර ලිපිය)

තමන්ගේ ව්‍යාපාරය ගැන

 

1996 වසරේදී වයස 22ක් වූ අසෝක සිය ව්‍යාපාරික ජීවිතය ආරම්භ කලේ රත්නපුර නගරයේ පදික වේදිකාවෙනි. එසේ පදික වේදිකාවේ ඇඳුම් අලෙවි කල අසෝක 1998 වසරේදී, පල්ලිය පාරේ තිබු ලොරි බොඩියක් තම කඩය බවට පරිවර්තනය කර ඇදුම් අලෙවි කිරීම ආරම්භ කළේය. පසුව කඩ කෑල්ලක් කුලියට ගෙන තමන්ගේම වෙළඳසලක හිමිකරුවෙකු වීම සිහිනය සැබෑ කරගත් ඔහු, අද වන විට  රත්නපුර නගරයේ  සපත්තු, ඇදුම්, බෑග් අලෙවි කරන වෙළඳසල් කිහිපයක හිමිකරුවෙකි.

 

උසස්පෙළින් පසුව ඡුායාරූප ශිල්පිය උගත් අනිල් ගූණසේන කිරුලපනේ ආයතනයක පුහුණුකරුවෙක් ලෙස සේවය කළේය. එම ආයතනයේ තිබු පරණ යන්ත්‍රයක්, වටිනාකමින් අඩක් ණයක් ලෙස ගෙවන්නට හැකි වන පරිදි ලක්ෂ දහතුනකට මිල දී  ගත ඔහු , “Talent Colour Lab” නමින් රත්නපුර නගරයේ සිය ව්‍යාපාරය ආරම්භ කළේය. පසුකාලීනව මුලින් සේවය කළ  කිරුලපන ආයතනයේ එම ගොඩනැගිල්ලත් මිල දී ගත් අනිල් එහි ද ශාඛාවක් ආරම්භ කර කල අතර, අද ඔහුගේ ව්‍යාපාරය දිවයිනේ විවධ පලාත්වල මිනිසුන් 50ක් 60ක් වැඩ කරන ශාඛා 7කට හිමිකම් කියන්නකි.

 

ගංවතුර පිළිබඳ අත්දැකීම්

 

අලුත් අවුරුදු දිනය පසුවී දින 45ක් පමණ ගතවීමෙන් පසු රත්නපුර නගරයට ගංවතුර ගැලීමේ  ඉහල අවදානමක් පවතින බව පැවසූ අසෝක, ඒ නිසාම එම කාලය වන විට සියලුදෙනාම පාහේ ගංවතුර පිලිබඳ අවධානයෙන් පසුවන බව කිවේය. බොහෝ වසරවල මෙම ගංවතුර තත්ත්වය සුළුවෙන් සහ ඉක්මනින් බැසයන මට්ටමේ පැවතියත්, වසර කිහිපයකට වතාවක් මහා පරිමාණයෙන් ගංවතුර ගැලීමක් සිදුවන අතර, එය රත්නපුර ව්‍යාපාරිකයන්ට මුහුණදීමට සිදුවන විශාල අභියෝගයකි.

 

පදික වේදිකාවේ වෙළදාම් කරන සමයේ තමන්ට ඉවත් කරගැනීමට තිබුණේ බඩු අවම ප‍්‍රමාණයක් නිසා ගංවතුර එනවිට එක්මනින් එම බඩු අස්පස් කරගෙන ශාන්ත ලූක් පාසලට ගෙන ගොස් ඒවා ආරක්ෂා කරගත් බව අසෝක අප සමග පැවසුවේ ය.දියුණුවට ඉදිරි පියවරක් තබමින් එතැනින් ඉවත්ව ලොරි බොඩියක බඩුු වෙළදාම් කරමින් සිටි සමයේ, බඩු ප‍්‍රමාණය වැඩි නිසාම 2013 වසරේ පැමිණි මහ ගංවතුරින් ඔහු සිය බඩු බේරාගෙන තිබුණේ අනූනමයෙනි.පොලිසිය අසළ පාරෙන් ගග හැරී ගලාගෙන එනු දුටු වහා අසළ තිබූ කැඩුණු ලොරියකට බඩු ටික පටවාගෙන, තවත් කිහිපදෙනෙකුගේ ආධාර ඇතිව එම ලොරිය ඉහළ ස්ථානයකට අපහසුවෙන් තල්ලූ කර, විනාශයෙන් ඒවා බේරාගත් බව අසෝක කීවේ ය.

එහෙත් 2017 පැමිණි දරුණු ගංවතුරෙන් සිය ව්‍යාපාරය බේරා ගැනීමට ඔහුට නොහැකි විය. එදා ගංවතුර පැමිණෙන විට අසෝක සිටියේ වාණිජ මණ්ඩලය හරහා ඉන්දුනීසියාවේ යාමට සුදානම්වය. විශාල ගංවතුරක් අපේක්ෂා නොකළ ඔහු තම සංචාරය නවතා වෙළඳසලට පැමිණියත් ඒ වන විටත් වෙළඳසල වතුරෙන් යටවී හමාරය. එම ගංවතුරින් අසෝකට සිදුවූ අලාභය ලක්ෂ 45කි.

ගංවතුරට හසුව විනාශ වී තිබූ ව්‍යාපාරය නැවත ගොඩනැගීමට අසෝකට මාස 2ක කාලයක් ගතව තිබූ අතර, එම කාලයේ සේවකයන්ට වැටුප් ලබාදීම පවා ඉතාම අපහසු කටයුත්තක් වූ බව ඔහු පැවසුවේ ය.

2017 වසරේ පැමිණි ගංවතුරට සිය ව්‍යාපාරික ස්ථානය යටවීම නිසා ලක්ෂ 95ක අලාභයක් සිදුවූ බව අනිල් අප සමග පැවසුවේ ය.

 

නැවත ව්‍යාපාරය ගොඩ ගැනීමට ලැබුණු සහාය

 

මුල්‍යාධාර

කිහිප අවස්තාවක ගංවතුරට මුහුණ දුන්නත් රජයෙන් ආධාර ලැබුණු පළමු වතාව මෙය බව අනිල් පැවසුවේ ය. පළමු ලිපියේ ව්‍යාපාරිකයන් කී පරිදිම, අසෝක සහ අනිල් ද පැවසුවේ  රජය වන්දි මුදල් තීරණය කල පදනම සහ බෙදා දුන් ආකාරය පැහැදිලි නැති බව සහ ගැටළු සහගත බවය.

තම අත්දැකීම අසෝක විස්තර කලේ මෙසේය.

“මගේ කඩ දෙකක් වතුරට යට වුනා. එක කඩයක පාඩුව ලක්ෂ 5යි. අනෙක් කඬේ පාඩුව ලක්ෂ 40යි. මම මේ සල්ලි හෙව්වේ හරියට වෙලාවට කන්නේ නැතුව, නිදාගන්නේ නැතුව. මම ඔක්කොම විස්තරේ ඉදිරිපත් කළා. එක කඬේකට ලක්ෂයකුත්, අනෙකට රුපියල් 98,000කුත් මට ආධාර ලැබුණා.”

රජය වෙත තමන් බදු මුදල් නිසි පරිදි ගෙවුව ද, ගංවතුර වැනි ස්වභාවික ආපදාවක දී තමන් අසරණ වූ විට රජය ලබාදෙන උපකාරය සාධාරණ නොවන බව ඔහුගේ හැගීමයි.

ඔහු ඒ පිලිබදව මෙසේ අදහස් දැක්වූයේ ය.

“මම රජයට බදු ගෙවනවා. මම ඒක කරන්නේ කැමැත්තෙන්. මම පදික වේදිකාවේ වෙළදාම් කරන කාලයේ ඉදලා රජයට බදු ගෙව්වේ ආඩම්බරෙන්. මට පක්ෂයක් පාටක් නැහැ. ඒත් ආධාර දෙන්නේ පක්ෂ පාට බලලා”

තම ව්‍යාපාරය පිහිටි ස්ථානයට වඩා ඉහල ස්ථානවල පිහිටි අඩු අලාභයක් සිදුවූ ව්‍යාපාරවලට තමන්ට වඩා විශාල මුදලක් ලැබුණු බවත් අසෝක පැවසුවේ ය.

අනිල්ගේ අත්දැකීමද අසෝකට සමාන විය. ඔහු ද පැවසුවේ, යම් ක්‍රමවේදයකට අනුව නොව, දැන හැඳුනුම්කම් මත ආධාර ලබා දුන් බවයි.

“ හානියට වන්දි මොන ක‍්‍රමවේදෙනට තීරණය කරන්නේ කියලා පැහැදිලි නැහැ.මුලින්ම කිව්වා අලාභවලින් සියයට 50ක් ගෙවිය යුතුයි කියලා තියෙනවා කියලා.පස්සේ කිව්වා එක කඬේකට වැඩිම දෙන්නේ ලක්ෂ 25යි කියලා. මට ලක්ෂ 95ක් හම්බ වෙන්න තිබ්බා. මම පස්සේ අලාභ තක්සේරු කරන කමිටුවට කතා කරන්න ගියා. එතන දී එයාලා පිළිගත්තා මට ලක්ෂ 95ක් දෙන්න  ඕනේ කියලා. ඒත් මට අලාභේ හම්බ වුනේ නැහැ. සියයට 50ක් තමා ලැබුණේ”

එමෙන්ම ආධාර ගැනීම සඳහා අයදුන්පත් ලබා ගැනීමටත් විශාල තරගයක් තිබුණු බවත් අයදුම්පත් ලබාගත යුතුව තිබු දවස පිලිබඳ බොහෝ දෙනෙක් දැනුවත් වී නොසිටි බවත් ඔහු පැවසුවේ ය. ඒ නිසාම ඇතැමුන්ට  අයදුම්පත් නොලැබීම මුල්‍යාධාර නොලැබීමට හේතු වූ බව ඔහු පැවසුවේ ය..

එමෙන්ම හානිය තක්සේරු කිරීම සදහා නිලධාරීන් පැමිණෙන්නේ ගංවතුර බැසගියාට පසුව නැවත ව්‍යාපාර ආරම්භ කිරීමට ව්‍යාපාරිකයන් සූදානම්වෙමින් සිටින අවස්ථාවේ බව පැවසූ අනිල්, එය ගැටලූ සහගත බව පෙන්වා දුන්නේ ය.

“වුන හානිය තක්සේරු කරන්න ආවා කට්ටියක්.ඩැමේජ්වල ෆොටෝස් අරන් තියන්න  ඕනේ ද කියලා ඇහුවම, නැහැ  ඕනේ නැහැ, ආයෙමත් ටික දවසකින් එනවා කිව්වා. ඊට පස්සේ එක නිලධාරියෙක්වත් ආවේ නැහැ. තව ඒ වෙලාවේ හදිස්සියට කියපු ඒවට වැඩියෙන් හානි තිබ්බා. පස්සේ තමයි දැක්කේ වායු සමීකරණය (AC) එහෙමත් කැඩිලා කියලා. අපිට ඩැමේජ් වෙච්ච බඩු තියාගෙන ඉන්නත් බෑ. ඒවා අස්කරන්න  ඕනේ”

 

ණය පහසුකම්

බැංකු හරහා අඩු පොලියට දුන් නය ව්‍යාපාරය ගොඩ ගැනීමට විශාල පිටුවහලක් වූ බව අසෝක පැවසුවේ ය. ඔහුට DFCC බැංකුවෙන් ලක්ෂ 30ක ණයක් 8% ක පොලියකට වසර දෙකකින් ගෙවීමට ලබා ගත හැකි වී ඇත. විශේෂයෙන්ම බැංකුවත් සමග කලින් ගනුදෙනු කර තිබුණ නිසා, ඒ විශ්වාසය මත වැඩි කල් නොයවා එම මුදල් ඔහුට ලබා ගැනීමට පුළුවන් වූ බව ඔහු පැවසුවේ ය.

2017 ගංවතුරින් පසු තමන්ට හැකි පමණින් විවිධ ක්‍රම වලින් තම ව්‍යාපාරය නැවතත් තිබු තත්වයට පත්කර ගැනීමට උත්සාහ දරුවත් එය සම්පුර්ණයෙන්ම සාර්ථක නොවූ බව අසෝක කීවේ ය. ගංවතුරට පෙර සේවකයින් 31ක් අසෝක යටතේ සේවය කළ නමුත් අද වන විට ඔහු යටතේ කරන්නේ සේවකයින් 8 දෙනෙකු පමණි.

 

යලි ගංවතුරකට මුහුණ දීමට ඇති සුදානම

 

ගංවතුරෙන් වන හානිය අවම කර ගැනීමට නම් ගංවතුර පිලිබඳ කල්තියා දැනුවත් වීම ඉතා වැදගත්ය. අසෝක පවසන ආකාරයට රත්නපුර වටකොට ඇත්තේ කඳු පන්තියකි. මේ කඳු පන්තියට වට වූ රත්නපුර නඟරය කිරි ගොට්ටක් බදු වන අතර මුළු කඳු පන්තියටම එකවර වැසි ඇද හැලුනහොත් නගරය කිරි ගොට්ටක් පිරින්නා සේ වතුරෙන් පිරි යන්නේය.

“මගේ ළඟ කඳුවල අඳුනන අයගේ නොම්මර තියෙනවා, ඒ කියන්නේ බලන්ගොඩ, සිරිපාගම, නිවිතිගල. මම වහින කාලෙට එයාලට කෝල් කරලා අහනවා වහිනවද, පායනවද කියලා. හැම ගමකටම එක සැරේ වහිනවා නම් මම දන්නවා ගං වතුරක් එන්න පුළුවන් කියලා.”

තම හිතවත්කම් වලින් දැනුවත් වනවාට අමතරව තම ගංවතුර අත්දැකීම් ඔස්සේත් ගංවතුරේ ස්වභාවය පිලිබඳ අවබෝධයක් ලබා ගැනීමට අසෝක උත්සාහ කරන බව ඔහුගේ කතාවෙන් පැහැදිලි වේ.

“අලුත්ගොල්ල පාර කියලා පාරක් තියෙනවා ගෙවල් ළඟ. ඒ පාර තමා වතුරක් එනකොට පළවෙනියටම යට වෙන්නේ. මහා රෑ හයියෙන් වැස්සොත්, රෑ 12ට උනත් මම ඇහැරිලා පාර යට වෙලාද කියලා බලන්න එනවා. මීටර් 200ක් විතර එන්න තියෙනවා. මම ජැකට් එක දාගෙන බයිසිකලෙන් ඇවිල්ල ටෝච් එක ගහලා බලනවා පාර යට වෙලාද කියලා. එතකොට අපි විකල්ප මාර්ග පාවිච්චි කරලා ටවුමට එනවා. එහෙම එගොඩට පැන ගත්තේ නැතිනම් ගඟෙන් මෙගොඩට එන්න බැරි වෙනවා. ඒ වලාවට ගඟ මැදින් ඔරුවක් පදින්නත් පුළුවන් ඒ වැඩේට අති දක්ෂයකුට විතරයි”

2017 ගංවතුරෙන් ඔහු ලබාගත් අත්දැකීම් අනුව අද වනවිට ඔහු ගංවතුර ගැලීම පිලිබඳ කල්තියා දැනුවත් වී හානිය අවම කරගැනීමට තමන්ට කල හැකි දේ සිදුකරයි.

“”මගේ ගෙදර තියෙන්නේ ගඟෙන් එගොඩ. ගඟ ඉතිරුවොත්, වාහනෙන් මේ පැත්තට එන්න බැහැ, පාර යට වෙනවා. 2017 අත්දැකීමෙන් පස්සේ, පාර යට වෙන්න කලින් වාහනෙත් අරන් එගොඩට එනවා. ඇවිල්ල කඩේ නිදිය ගන්නවා”

ආරක්‍ෂිත ස්ථානයක්

 

ගංවතුර නගරයට පැමිණීම නැවත්වීම අපහසු කාර්යකි. එබැවින් තමන්ගේ ව්‍යාපාරික ස්ථානයේ බඩු ආරක්ෂාකර ගැනීමට සැලසුමක් තිබීම ඉතා වැදගත්ය. ඒ අයුරින් ගත් කළ, අසෝකට ද තිබූ ගැටලූව වූයේ තම ව්‍යාපාරික ස්ථානයේ බඩුබාහිරාදිය ආරක්ෂිත ස්ථානයකට රැගෙන යා හැක්කේ කෙළෙස ද යන්නය. මේ සදහා විසදුමක් ලෙස අසෝක කර තිබෙන්නේ තම ව්‍යාපාරය අසළ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ කොටසක් මාසිකව රුපියල් 20,000ක කුලී මුදලකට වෙන් කරගැනීමයි. මෙය අමතර වියදමක් වුවත් ගංවතුර කාලයේ වන හානිය අවම කර ගැනීමට තමන්ගේ බඩු රැගෙන යාමට තැනක් තිබීම ඉතා වැදහත් බව ඔහුගේ අදහසයි.

ඊට අමතරව ණය මුදලින් තම ව්‍යාපාරය නැවත ගොඩනගද්දී ගංවතුරට ඔරොත්තු දෙන අමුද්‍රව්‍ය භාවිතයට ද අසෝක පියවර ගෙන තිබේ.

“ බඩු තියෙන රැුක් තනිකරම ගහලා තිබුණේ බෝඞ්වලින්. ඒ බෝඞ් ඔක්කොම ඉදිමිලා ආයෙත් පාවිච්චියට ගන්න බැහැ. ඒ ගංවතුරෙන් පස්ේස වීදුරුවලින් හැදුවා. දැන් වතුරක් ආවොත් සුද්ධ කරලා ගන්න පුලූවන්

හානිය අවම කර ගැනීමට ඉදිරියට කල හැකි දේවල් ගැන අදහස්

 

ගංවතුරෙන් රත්නපුර නගරයට වන හානිය අවම කරගැනීමට රජයට ගත හැකි පියවර ලෙස අසෝක උපක්‍රම කිහිපයක් සඳහන් කරයි. ඔහුට අනුව රත්නපුර නගරය ඉතා කුඩා ප්‍රදේශයකි. නගරය වටා තිබෙන කදු පන්ති කිහිපයක මාපක සවි කිරීමෙන් වර්ෂාවේ මිලිමීටර ප‍්‍රමාණය ඉහළ යන විට ගංවතුර අවදානම පිළිබද ප‍්‍රදේශවාසීන් දැනුවත් කළ හැකිය.

එමෙන්ම ගඟේ වතුර මට්ටම නිරතුරුව මැනීම මගින් ගංවතුරක් ඇතිවිය හැකි ප්‍රමාණයට වතුර මට්ටම ඉහල යන විට ගංවතුර අවදානම පිලිබඳ ප්‍රදේශවාසින් දැනුවත් කල හැකිය.

වර්තමානය වන විට තාක්ෂණික අතින් අප දියුණු මට්ටමක සිටින නිසා සන්නිවේදන තාක්ෂනය බාවිත කරමින් ගංවතුර පිලිබඳ දැනුවත් කළ හැකි බව අසෝකගේ තවත් අදහසකි.

“අද තාක්ෂණයත් එක්ක පණිවිඩයක් දෙන්න සුලූ වියදමයි යන්නේ. වට්ස්ඇප්, වයිබර්, ඊමේල්, මේ ඔක්කොම තියෙනවා. පණිවුඬේ දුන්නා නම් දැන් යටවෙන්න යන්නේ, ඔයාලගේ බඩු තියෙනවා නම් අස්කර ගන්න කියලා වෙන හානිය ගොඩක් වළක්වාගන්න පුලූවන්. හානි වුනාට පස්සේ කෝටි ගණන්, ලක්ෂ ගණන් ගන්න ආධාරවලට වියදම් කරනවාට වැඩිය කලින් දැනුම් දීලා හානිය වළක්වා ගන්න එක තමයි වැදගත්”

රත්නපුරයේ අනෙකුත් ව්‍යාපාරිකයන් සේම අනිල්ද පැවසුවේ කල්තියා ගංවතුර අවදානම ගැන දන ගැනීමට හැකි වීම ඉතා වැදගත් බවයි. එසේම ඔවුන්ගේ අදහස් සහ යෝජනා ලබා දීමට අවස්තාවක් නොලැබීම ද ගැටළුවක් බව ඔහු පැවසුවේ ය.

“ආධාර වලට වැඩිය ගංවතුර අවදානම අඩුකරන්න විදියක් තමයි ඕනේ. කුණු ඔක්කොම ගගට දානවා. ප්ලස්ටික්, බ්ලොක් ගල් හැමදෙයක් ම. නගර සීමාවේ ගග බ්ලොක් වෙන්නේ නැතුව ස්මූත් වට ගලා යන්න දෙන්න ඕනේ.ගං ඉවුරු දෙකක් අතර වෝල් එකක් වගේ දාලා ලිමිට් කරන්න පුළුවන් වතුර. වතුරට නිදහසේ ගලා යන්න දෙන්න ඕනේ.”

අප කතා කල මේ ව්‍යාපාරිකයන්ට අනුව ඔවුනට තම අදහස් සහ යෝජනා ලබා දීමට සහ සක්‍රිය ලෙස අදාළ ආපදා සැලසුම්වලට දායක වීමට ඉඩප‍්‍රස්ථා ලැබී නැත. ආපදා කළමනාකරන නගර සැලසුම්වලට මේ පාර්ශවකරුවන් දායක කර ගැනීමට ක්‍රියා කිරීම ආපදාවලට සාර්ථකව මුහුණ දිය හැකි වන නගර සැලසුම් නිර්මාණයේදී ඉතා ප්‍රයෝජනවත් වන බැවින් එවැනි පාර්ශවකරුවන් සම්බන්ධ කරගැනීමට ක්‍රමවේදයක් නිර්මාණය කිරීම ඉතා වැදගත්ය.

අදහස්(1)

  1. ගං වතුරෙන් වන හානිය අවම කර ගන්නට වෙර දරන රත්නපුර ව්‍යාපාරිකයෝ | Unlocked.lk

    […] මෙම ලිපියේ දෙවන කොටස සඳහා පිවිසෙන්න – […]

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.