ධරණීය සංවර්ධනයක් උදෙසා ස්වේච්ඡා සේවය
දුලංජය මහගමගේ
7 නොවැම්බර් 2019

ස්වේච්ඡා සේවය යන්න සෘජුව පැහැදිලි කිරීම යම්තාක් දුරකට සංකීර්ණය. නමුත් එය සමාජයේ තනි පුද්ගලයෙකුගේ විඥානය එම සමාජයේ සාමූහික විඥානය සමග සම්බන්ධ කරන්නා වූ සමාජ-මනෝවිද්‍යාත්මක සම්බන්ධකාරකයක් ලෙස ලුහුඩුව හදුනාගත හැකිය. එක් අතකින් එය එක් පුද්ගලයෙකුගේ නිදහස් කැමැත්ත ප්‍රකාශ කිරීමක් වන අතර අනෙක් පැත්තෙන් එය යම් පුද්ගලයෙකුට පෞද්ගලිකව තමාගේ වටිනාකම ස්ථීර කරගැනීමට වඩා සමාජ වටිනාකම් හා සම්බන්ධවී ළගා කරගත හැකි වටිනාකම් වල සාමූහික ප්‍රකාශනයකි. ස්වේච්චා සේවය සවිඥානික හෝ උපසවිඥානික ක්‍රියාවක් විය හැකිය. විශාල පිරිසක් සෑම දිනකම පාහේ විවිධ ආකාරයේ ස්වේච්ඡා ක්‍රියාකාරකම් වල නිරත වන අතර සමාජ-සංස්කෘතික මෙන්ම පාරිසරික සන්දර්භයන් තුළ තිබෙන විවිධ ක්‍රියාවලීන් විවිධ මානයන් ඔස්සේ ගොඩනැගීමටත්, ඒව නොනැසී පැවතීමටත් ස්වේච්ඡා ක්‍රියාවන් වැදගත් පදනමක් සපයනු ලබයි.

ස්වේච්ඡා සේවයේ සවිඥානික ක්‍රියාව බොහෝ විට අර්ථ දැක්වෙන්නේ සමාජීය සහ සංස්කෘතික වශයෙන් විකාශනය වූ සාරධර්ම මගිනි. යම් පුද්ගලයෙක් වයෝවෘද්ධ කාන්තාවකට කාර්‍යබහුල මාර්ගයක් තරණය කිරීමට උපකාර කිරීම හෝ කුසගින්නේ පෙළෙන දරුවෙකු පෝෂණය කිරීම වැනි මෙම සියළු ක්‍රියාවන් නිර්වචනය කළ හැක්කේ සමාජීය වශයෙන් විකාශනය වූ සාරධර්ම පද්ධතියක් තුළිනි. මෙම පද්ධතිය තුළදී චිත්තවේගීයව ගොඩ නැගෙන යහපැවැත්මේ අවශ්‍යතාවය සහ සමාජ-සංස්කෘතික අනන්‍යතාවයන් තුළින් අයිතිවාසිකම් පිළිබඳ හැගීමක අවශ්‍යතාවය පැනනගී. මෙම අවශ්‍යතාවය විසින් මිනිසාට තමා යන වපසරියෙන් ඔබ්බට ගොස් සමාජය සහ පරිසරය වෙත දායක වීමට පෙළඹවනු ලබයි.

අතීතයේ සිටම ලොව පුරා පැවති නොයෙක් ශිෂ්ටාචාරයන් තුළ ස්වේච්ඡා සේවය විවිධ ආකරයෙන්, විවිධ ගුණාංගීකරණයන් මත පැවතී ඇත. උදාහරණයක් ලෙසට ස්වේච්ඡා සේවය අතීතයේ සිටම ඉන්දියානු සංස්කෘතියේ සහ සම්ප්‍රදායේ කොටසක්ව පැවතී ඇත. වේද ග්‍රන්ථයන්හි සඳහන් වන කර්මය පිළිබඳ සංකල්පය මෙහිදී වැදගත් වේ. මෙහිදී අනාගතයේ සැපවත් ජීවිතයක් පිළිබඳව බලාපොරොත්තු තබා ගැනීමට නම් ප්‍රයෝජනවත්, දැහැමි ක්‍රියාකාරකම් වල නිරත වීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. මහත්මා ගාන්ධි විසින් මෙම ආගමික ඉගැන්වීම් සමග මුසුවු සාම්ප්‍රදායික ස්වේච්ඡා ක්‍රියා සංකල්පය වඩාත් පුළුල් ලෙස වර්ධනය කළේය. මානව සංවර්ධනය සඳහා නිර්මාණාත්මක සහ ඵලදායී ස්වේච්ඡා සේවයක් වෙනුවෙන් පැවති පරාර්ථකාමී සම්ප්‍රදායන්ට ඔහු විසින් ඉතා වැදගත් මානයන් එක් කළේය. ඔහුගේ එම ස්වේච්ඡා සේවය ප්‍රධානවම යොමු වූයේ සමාජයේ බැහැර කරන ලද සමාජ ඒකකයන්ගේ අභිවෘද්ධිය, සංවර්ධනය වෙනුවෙනි.

“සංවර්ධනය” යන යෙදුම ගෝලීය වශයෙන් ප්‍රචලිත වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුවය. ජාතික විමුක්ති ව්‍යාපාරයන්ගෙන් පැනනැගුණු ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රාජ්‍යය්න් විසින් ප්‍රධාන වශයෙන් මෙම පදය වැළදගන්නා ලදි. 1955 දී පැවති ආසියානු සහ අප්‍රිකානු රාජ්‍යයන්ගේ සමුළුව තුන් වන ලෝකය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ආරම්භක ස්ථානය විය. එය ආර්ථිකය (කාර්මීකරණය හරහා), සමාජය සහ රාජ්‍යය කේන්ද්‍ර කරගත් බහුමාන ව්‍යාපෘතියකි. දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව පෙර පැවති යටත් විජිත සමාජ ආකෘතිය අභියෝගයට ලක් වූ අතර කොම්ප්‍රදෝරු පන්තීන් (වෙළද අතරමැදියන්, ඉඩම් හිමියන්) විසින් සමාජ කළමණාකරණය සඳහා සම්බන්ධ විය. යටත් විජිතකරණයේ ප්‍රථිඵලයක් ලෙසට ඇති වූ මෙම නව මොඩියුලය තුළට පැරණි කොම්ප්‍රදෝරු පන්තීන් (වඩවසම් ප්‍රභූන් සහ වංශවතුන්) වල බලය අහිමි වන අතර නව වාර්ගික (ජාතික ජනතාවාදී) ආධිපත්‍ය සහිත කණ්ඩායම් වර්ධනය වන සමාජ ප්‍රතිසංස්කරණ නිර්මාණය විය. 1950, 1960, සහ 1970 දශකයන් හීදී තුන්වන ලෝකයේ ආර්ථික සහ සමාජ පරිවර්තනයේ පදනම වුයේ මෙම ක්‍රියාවලියයි.

1980 දශකයේ මෙම පෙරළිය සංවර්ධනය පිළිබඳව මතවාදය ආරම්භ වූ කාලයටම නැවතත් සමාජය රැගෙන යන ලදි. එමගින් ගෝලීය දකුණේ (ආසියානු, අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රාජ්‍යයන්) සමාජ සහ ආර්ථික ගමන් මාර්ගයන් ගෝලීය උතුරේ (ජී 8 ට අයත් රාජ්‍යයන්) පැවති තත්වය හඹා යාමක් උදෙසා යොමු කෙරුණු බවක් පෙනෙන්නට තිබුණි. එම කාලවකවානුව තුළදී ලොව පුරා වර්ධනය වූ දිග්ගැස්සුනු ගැටුම්කාරී තත්වයන් (Protracted Conflicts) සහ සංවර්ධන ක්‍රියාදාමය තුළින් වින්දිතයන් පිරිසක් අඛණ්ඩව සමාජය තුළ වර්ධනය වීම මෙන්ම අනාගතයේ මුහුණ දීමට සිදුවන පාරිසරික අර්බුදයක් පිළිබඳව අනාවැකි පහළ වීම හේතුවෙන් එම ක්‍රියාවලිය පිළිබඳව විවේචනයන් මතුවිය. මෙය සමාජ ව්‍යාපාරයන් තුළින් ද ෆ්‍රැන්සිස් ෆුකුයාමා වැනි චින්තකයන් විසින් න්‍යායාත්මකව ද වර්ධනය කරන ලදි. මෙම කරුණු හේතුවෙන් ගෝලීය වශයෙන් මෙම ගැටලුකාරී තත්වයට මුහුණ දීම සඳහා විධිමත්ව වෙන්කරගත් ඉලක්කයන් කැටිකරගත් ක්‍රියා සැළසුමක අවශ්‍යතාවයක් පැන නගින අතර සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals) කරලියට පැමිණෙන්නේ මෙයත් සමගය.

විසි වන සියවස ආරම්භයේ 2000 වසරේ සැප්තැම්බර් මාසයේදී එක්සත් ජාතීන්ගේ සහශ්‍ර සමුළුවේදී එවකට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 189 විසින් මෙම ගැටලූන් වලට විසදුම් සෙවීම සඳහා සහස්‍ර සංවර්ධන ඉලක්ක අටක් සඳහා එකඟ විය.මෙම ඉලක්කයන් තුළින් 2015 වසර වන විට ගෝලීය වශයෙන් දරිද්‍රතාවයෙන් මිදීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම, ළදරු මරණ අනුපාතය අවම කිරීම අරමුණු කරගෙන ඒ සඳහා ගෝලීය එකගතාවයක් සහ පොදු භාෂාවක් සැපයීමට පරිසරය සකස් කරන ලදි. එහිදී පැහැදිලි මිණුම් සහ අධීක්ෂණ යාන්ත්‍රණයක් තුළින් මෙම ඉලක්කයන් සපුරා ගැනීමට අපේක්ෂා කරන ලදි. 2015 වන විට මෙම ඉලක්කයන්ගේ කාලසීමාව අවසන් වන අතර එම කාලය තුළදී මෙම සහශ්‍ර ඉලක්කයන් සැළකිය යුතු ප්‍රගතියක් ලබා ලෝකයේ දරිද්‍රතා අනුපාතය පහත වැටීම සඳහා දායක වී තිබුණු නමුදු ගෝලීය වශයෙන් ගත් කළ එම සාර්ථකත්වයන් තුළ විශාල අසමානතාවයන් පවතින බව පෙනෙන්නට තිබූ දෙයකි. එම නිසා 2015න් පසුවත් මෙයට වඩා පුළුල් වූ මෙන්ම සංවිධානාත්මක වූ න්‍යාය පත්‍රයක අවශ්‍යතාවය පැවතුණි. සහශ්‍ර ඉලක්කයන් 08න් ඔබ්බට ගොස් පාරිසරික තිරසාරභාවය, සමාජ අන්තහ්කරණය සහ ආර්ථික සංවර්ධනය සමානව අගය කරනා තිරසාර ලෝකයක් ගොඩනැගීම පිළිබඳව කතාබහට ලක්විය.

2012 ජුනි මාසයේ රියෝ ද ජැනෙයිරෝ නුවර පැවති රියෝ +20 සමුළුවේ දී (තිරසාර සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව) නව තිරසාර සංවර්ධන ඉලක්ක මාලාවක් (SDGs) සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය සඳහා ශක්තිමත් පදනමක් සැපයූ අතර එමඟින් සහශ්‍ර සංවර්ධන අරමුණු වල සාරය පවත්වා ගනිමින් එය තවදුරටත් සංවර්ධනය කරගනිමින් 2015 න් ඔබ්බට ගෝලීය සංවර්ධන රාමුවක් නිර්මාණය කර ගත යුතු බවට සාකච්ඡා විය. මෙම විවාදාත්මක තත්වය අතරතුර 2014 ජුලි මාසයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල විවෘත ක්‍රියාකාරී කණ්ඩායම (OWG) විසින් 2015 සැප්තැම්බර් මාසයේ දී මහා සභාවේ අනුමැතිය සඳහා ඉලක්ක 17 ක් ඇතුළත් ලේඛනයක් යෝජනා කරන ලදී. මෙම ලේඛනය ධරණීය සංවර්ධනය ඉලක්ක කරගත් ඉලක්කයන්ගෙන් සමන්විත නව ධරණීය සංවර්ධන ඉලක්ක(SDGs) සහ 2015 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගෝලීය සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා පදනම සපයන ලදි. ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ තිරසාර සංවර්ධනයක් පිළිබඳව මෙම කාලය තුළ පවත්නා උනන්දුව වර්ධනය වන්නේ මෙම න්‍යායපත්‍රයත් සමග 2015 වසරේ සිට ගොඩනැගෙන ගෝලීය ප්‍රවණතාවන් සමගය. මෙම ධරණීය සංවර්ධන ඉලක්කයන් ළගා කර ගැනීම සඳහා ගෝලීය වශයෙන් ද, කලාපීය වශයෙන් ද, ස්වාධීන රාජ්‍යයන් ද මෙන්ම සිවිල් සමාජය සහ සංවිධාන ද පෙළ ගැසෙමින් සිටිනා අතර එම සියළු ස්තරයන් නියෝජනය වෙමින් වර්තමානයේ  ක්‍රියාත්මක වෙමින් පවතින ස්වේච්ඡා සේවය ධරණීය සංවර්ධනය උදෙසා විධිමත්ව යොමු කරගැනීමේ සාමුහික ක්‍රියාවලියක අභියෝගය ගෝලීය වශයෙන් මේ මොහොතේ අප හමුවේ ඇත.

දෙවන ලෝක යුද්ධයන්ගෙන් පසුව එළඹෙන කාල පරාසය තුළ වඩාත් පුළුල් වූ මෙන්ම සංවිධානාත්මක වූත් ගෝලීය ස්වේච්ඡා සේවයන් පිළිබඳව කතාබහක් වර්ධනය විය. එමෙන්ම 20 වන සියවසේ අවසාන භාගය තුළ වර්ධනය වූ ගෝලීය ගැටුම් සහ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් මෙම කරුණ පිළිබඳව කඩිනම් අවධානයක් යොමු විය. ඒ හේතුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2001 වසර ජාත්‍යන්තර ස්වේච්ඡා සේවකයන්ගේ වසර ලෙස නම් කරන ලද අතර එම වසරේදීම ස්වේච්ඡා උත්සාහයන් සඳහා වන ජාත්‍යන්තර සංගමය (International Association for Volunteer Effort) විසින් ස්වේච්ඡා සේවය පිළිබඳ විශ්ව ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදි. මෙම වසර ක්‍රියාත්මක වීමෙන් පසුව ඒ පිළිබඳව පසු විපරුමකට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ එවකට මහලේකම් කොෆි අනන් විසින් නිකුත් කළ වාර්තාවට අනුව පුරවැසියන්ට ප්‍රාදේශීය මට්ටමෙන් ස්වේච්ඡා ක්‍රියා සඳහා යොමු වීමේ අවස්ථාවන් පුළුල් වීම, සංවර්ධනය සඳහා සියලුදෙනාටම අයිතියක් ඇති බවත් එම අයිතිය ක්‍රියාත්මක කිරීම සඳහා එක් වැදගත් මාර්ගයක් වන ස්වේච්ඡා සේවය සඳහා ක්‍රියාකාරී ජනතා සහභාගීත්වය පවත්වා ගැනීම මෙන්ම තනි ස්වේච්ඡා සේවාවන්හි යෙදෙන්නන් හා සංවිධාන අතර සම්බන්ධතා සහ උපකාරක ජාලයන් නව සන්නිවේදන ක්‍රමෝපායන් ද භාවිත කරමින් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය වෙත අවධානය යොමු කරන ලදි. මේ තුළින් ස්වේච්ඡා සේවය උදෙසා පෙර පැවති ගාන්ධියානු නිර්වචනය වඩාත් පුළුල් කරමින් එය සමාජයේ පමණක් නොව පරිසරය තුළ මෙන්ම ද විවිධ ගැටලු වලට විසදුම් සෙවීම සඳහා උපකාරකයක් ලෙස විධිමත්ව කළමණාකරණය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පුරෝකථනයක් සපයයි. මෙම සියලු සංවර්ධනීය උපායමාර්ගයන් සහ උත්සහයන් පැවතිය ද 21 වන ශතවර්ෂයේ පළමු දශකය අවසන් වන විටත් ධරණීය සංවර්ධනයක් ළගා කර ගැනීම සඳහා බොහෝ හිඩැස් සමාජ, ආර්ථික, පාරිසරික ඇතුළු අනෙකුත් ගෝලීය මානයන් තුළ පැවති බව පෙනෙන්නට තිබුණි.

සහශ්‍ර සංවර්ධන ඉලක්කයන් සමග 2015 වන විට සම්පූර්ණ කරගත නොහැකි වූ ධරණීය සංවර්ධනය 2015 වසරේ සිට 2030 දක්වා ක්‍රියාත්මක වෙමින් පවතින ධරණීය සංවර්ධන ඉලක්කයන් 17 තුළින් ළගා කර ගැනීමේ ගෝලීය උත්සහය මේ වන විට අපට දැක ගත හැකිව ඇත. ශ්‍රී ලංකාව ද ඒ සඳහා කොටස්කරුවෙකු ලෙස වැදගත් කාර්‍යභාරයක් ඉටුකරමින් සිටියි. මෙම ක්‍රියාවලිය තුළ ස්වේච්ඡා සේවයේ පැවැත්මේ අවශ්‍යතාවය නිරන්තරයෙන්ම පවතින අතර තනි පුද්ගල ක්‍රියාකාරකම්, ග්‍රාමීයව ක්‍රියාත්මක වන ස්වේච්ඡා ක්‍රියාවලින් හි සිට සර්වෝදය වැනි දීපව්‍යාප්ත ස්වේච්ඡා සංවිධානයන් මෙන්ම ගෝලීයව සිදු වෙමින් පවතින ස්වේච්ඡා ක්‍රියාකාරකම් මෙම ඉලක්කයන් වෙත යොමු කර ගැනීම 2030 වසර වන විට මෙම ඉලක්කයන් සපුරා ගැනීමට නම් ඉතා අත්‍යවශ්‍යව පවත්නා දෙයකි. පාරිසරික, සමාජීය, ආර්ථික, තාක්ෂණික මෙන්ම ධරණීය සංවර්ධන ඉලක්කයන් 17 ට අයත් අනෙකුත් සියලු මානයන් උදෙසා අඛණ්ඩව ක්‍රියාත්මක වන විධිමත් ස්වේච්ඡා සේවයක් සංවිධානය කිරීම වැදගත් වේ.

ධරණීය සංවර්ධනය සම්බන්ධයෙන් අනාගත අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා එක්සත් බලවේගයක් ලෙස ස්වේච්ඡා සේවයේ තීරණාත්මක කාර්‍යභාරයේ වටිනාකම ලබා ගැනීම සඳහා එය න්‍යාය පත්‍රයන් තුළට විධිමත්ව අන්තර්ගත කරගැනීම වැදගත් වේ. එහිදී ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව තිරසාර ලෙස වර්ධනය කිරීම, දේශීය ස්වයං පෝෂිතභාවය වැඩි දියුණු කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදනය මෙන්ම පාලන ක්‍රියාවලියට ශක්තිමත්ව බලපෑම් කළ හැකි ආකල්පයන් හා මනෝභාවයන් හි තිරසාර වර්ධනයට අවධානය යොමු කරමින් බිම් මට්ටමේ සංවර්ධන වැඩසටහන් වලට ස්වේච්ඡා සේවය ඇතුළත් කිරීම සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයක් සඳහා ඉතා වැදගත් වනු ඇත. එහිදී තනි පුද්ගල, ප්‍රාදේශීය, ජාතික සහ ගෝලීය වැනි විවිධ මට්ටමෙන් ක්‍රියාදරයන් සහභාගී කරවා ගැනීම සාධනීය පියවරක් වනු ඇත.

ප්‍රජාපාදක පාරිසරික වැඩසටහන් සැළසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ස්වේච්ඡා සේවය විධිමත්ව සම්බන්ධ කර ප්‍රාදේශීය ප්‍රජා ප්‍රභවයන් වෙත යොමු කිරීම මගින් දේශගුණික යහපැවැත්ම, තිරසාර නගරයන් සහ ප්‍රජාවන් මෙන්ම සාමය සහ සංහිදියාව වැනි තිරසාර සංවර්ධන ඉලක්කයන් බොහෝ ප්‍රමාණයක් එක් ප්‍රවේශයක් ඔස්සේ මෙම භූමිය තුළ වර්ධනය කර ගත හැකිය. එමෙන්ම එමගින් ප්‍රජා අවශ්‍යතා, පාරිසරික තර්ජන සහ ආයතනයන් අතර පවතින හැඩැස් වර්ධනය නොවී ගැටලු සඳහා අස්ථීර විශ්ලේෂණයන් සහ විසදුම් කරා යාන්ත්‍රණය ඇදී යාම වළකයි. එමනිසා රජයන් විසින් ස්වේච්ඡා ක්‍රියාකාරකම් හරහා ප්‍රජා සහභාගීත්වය යන සාධකයේ වටිනාකම හදුනාගෙන ඒ සඳහා සුදුසු සම්පත්, යටිතල පහසුකම් මගින් එයට සහය වන පරිසරයක් කල්තියා පෝෂණය කළ යුතුය. ස්වේච්ඡා ක්‍රියාදරයන් යොමු වන මානයන් හදුනාගෙන ඔවුන් දිරි ගැන්වීම, එම ක්‍රියාකාරකම් වල තිරසාර බව සහතික කිරීම සඳහා රජය සහ සංවර්ධන ආයතන තුළින් මෙය අධීක්ෂණය කිරීම සඳහා විධිමත් සැළසුමක් ක්‍රියාවට නැංවිය යුතුව ඇත.

මෙම ප්‍රජාපාදක වැඩසටහන් ලේඛනගත කිරීමේදී ස්වේච්ඡා සේවය පිළිබඳව නිශ්චිත දත්ත ග්‍රහණය කරගැනීම අත්‍යවශ්‍ය වේ. ස්වේච්ඡා ක්‍රියාකාරකම් බොහෝ ගෝලීය සංවර්ධන ව්‍යාපාරයන් ට මූලබීජ සපයන අතර බොහෝ විට ඒවා ලේඛනගතව සමාජය හමුවට නොපැමිණේ. ස්වේච්ඡා ක්‍රියාකාරකම් සඳහා නිශ්චිත මැනිය හැකි දර්ශකයන් සහ දත්තයන් සමග ලේඛනගත කිරීම මගින් ඒවා ධරණීය සංවර්ධන ඉලක්කයන් සමග ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව නිශ්චිත දර්ශකයක් ගොඩනගා ගැනීම ඵලදායි ක්‍රියාවලියක් වනු ඇත. එමෙන්ම පර්යේෂණ අධ්‍යනයන් සිදුකෙරෙන විට එම දත්ත සමුදාය සහ වෙනත් ප්‍රභවයන් භාවිතයට ගැනීම තුළින් ප්‍රගති සමාලෝචනයක් සිදු කිරීමටත්, අනාගත ක්‍රියාකාරකම් සැළසුම් කිරීමට මෙන්ම සිවිල් සමාජයට සහයෝගය ලබා දීම සඳහා කටයුතු කිරීම මගින් ස්වේච්ඡා ක්‍රියාවලීන් තවදුරටත් පුලුල් වීම සඳහා දායකත්වය ලබා දිය හැකි වනු ඇත.

ශ්‍රී ලංකාව තුළ සංස්කෘතියේ සහ සමාජ පරිණාමයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සඳහා ලැබී ඇති සමාජ වටිනාකම සම්පූර්ණ වශයෙන් සමාන වනවාද යන්න විවාදාත්මකය. කාන්තාවගේ දේශපාලනික සහ සමාජ කටයුතු වල දායකත්වය පුරුෂ පක්ෂයට සාපේක්ෂව අඩු මට්ටමක පැවතීම සංවර්ධනය වෙමින් පවතින බොහෝ රාජ්‍යයන් හමුවේ පවතින අභියෝගයකි. එම නිසා මෙම අභියෝගය නිවැරදිව කළමණාකරණය කරගනිමින් ස්ත්‍රී, පුරුෂ පමණක් නොව අනෙකුත් සියලු සමාජභාවයන්ගෙන් යුත් සමස්ත සමාජයේම, ස්වේච්ඡා සේවකයින්ගේම තිරසාර සංවර්ධන ඉලක්කයන් සඳහා වන දායකත්වය තුළින් සමාජ ප්‍රාග්ධනය පෝෂණය කිරීම, නැවත ගොඩනැඟීම හා එහි පරිවර්තනීය කාර්යභාරය හඳුනා ගැනීම තුළින් ධරණීය සංවර්ධනය අත්පත් කරගැනීම අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් පසුකරමින් සිටින මෙම කාලය තුළ ඉතා අත්‍යවශ්‍ය ගෝලීය දායකත්වයකි.

දුලංජය මහගමගේ
7 නොවැම්බර් 2019
දුලංජය මහගමගේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබද උපාධිධාරියෙකි. ඔහු මේ වන විට නිදහස් පර්යේෂකයෙකු මෙන්ම උපදේශකයෙකු ලෙස දේශගුණික විපර්යාස සහ ධරණීය සංවර්ධනය සම්බන්ධයෙන් පවතින ආයතන රාශියක් සමග කටයුතු කරමින් සිටියි. දේශගුණික විපර්යාස උදෙසා හඩ සංවිධානයේ නිර්මාතෘ වන ඔහු, එතුළින් දේශගුණික විපර්යාසයන් හි බලපෑම්, අවදානම් සහ ඒවා සදහා ගත හැකි ප්‍රතිචාර විකල්පයන් පිළිබඳ විෂයාත්මක, දේශපාලන හා සමාජීය දෘෂ්ටියක් ලොවට ලබා දීමට උත්සහ කරමින් සිටියි

අදහස්(0)

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.