කාබන්ඩයොක්සයිඩ් වායුව පිළිබඳ මහ සයුරේ ප්‍රතිචාරය
එච්. එම්. පී. පෙරේරා
18 அக்டோபர் 2019

දේශගුණික විපර්යාස, ස්වාභාවික සංසිද්ධින් රැසකගේ මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් සමූහයකගේ අනිටු ප්‍රතිඵලයක් ලෙස අත්විදීමට සිදුවන්නකි. මෑතකාලීනව ලොව සුලබ මාතෘකාවක් වූ මිනිසා විසින් නිෂ්පාදනය කරන කාබන්ඩයොක්සයිඩ් සහ අනෙකුත් හරිතාගාර වායුන් මඟිගින් දේශගුණයේ වෙනස්වීම ඇති ක්‍රියාවලිය නිදසුනක් ලෙස සැලකිය හැකිය. සමස්ත පෘතුවියේ පැවැත්ම කෙරෙහිම බලපාන දේශගුණික සහ කාලගුණික තත්ත්වයන්ගේ විෂමතා පිළිබද අධ්‍යනය සඳහා විද්‍යාත්මක පර්යේෂණ ඔබ මෙම ලිපියට අවධානය යොමු කොට සිටින මේ මොහොතේ පවා ලොව කොතැනක හෝ සිදු කෙරෙමින් පවතී. එලෙස ලොවපුරා සිදුකෙරුණු පර්යේෂණ හෝමයක දී ඇන්ටාක්ටික් සාගරය සෑම වසරකදීම කාබන්ඩයොක්සයිඩ් වායුව ටොන් බිලියන ගණනක් අප අවට වායුගෝලය වෙතින් අවශෝෂණය කරගනිමින් හරිතාගාර වායුව මඟිගින් සිදු කෙරෙන පාරිසරික බලපෑම් අවම කිරීමට දායකවේ යැයි තහවුරු විය. මේ අනුව මෙම ඇන්ටාක්ටික් සාගර කලාපය පෘතුවියේ උෂ්ණත්වය ඉහළ යෑම වැළැක්වීම සඳහා අනුපමේය සේවාවක් සිදු කෙරෙන ප්‍රදේශයක් ලෙස ගෝලීය වශයෙන් වැදගත්කමක් දරයි. එමෙන්ම වසර 2011 දී සිදු කරන ලද අධ්‍යනයකින් අනාවරණය වූ කරුණු අනුව පැසිෆික්, අත්ලන්තික් ඇතුළු සමස්ත සාගර පරිසර පද්ධතිය විසින් කාන්ඩයොක්සයිඩ් වායුව ගිගා ටොන් 4.4ක ප්‍රමාණයක් එම වසර තුළදී අවශෝෂණය කොට තිබිණි. එම අවශෝෂිත වායු ප්‍රමාණය මිනිස් ක්‍රියාකාරකම් මඟිගින් එම කාලසීමාව තුළදී මුදාහැරුණු කාබන්ඩයොකසයිඩ් වායු පරිමාවෙන් 10% ක් බව ගණනය කර ඇත.

මෙම කරුණු පිළිබදව වැඩිදුර පර්යේෂණ සිදු කරන නාසා ආයතනයේ- ව්‍යාපෘතිය SeaWiFS (Sea viewing Wide Field of View Sensor) මඟිගින් වර්ෂ 1997 සිට සෑම දිනකම පැය විසිහතර පුරා සාගර පිළිබද විමර්ශනය සිදු කෙරේ. ඒ මඟිගින් ලෝක සගර පරිසර පද්ධතිය පිළිබඳ සහ ඒවායෙහි ජෛව විද්‍යාත්මක තත්ත්වය පිළිබදව වර්ණ ඡායාරූප ලබාගනිමින් ප්‍රමාණාත්මක විශ්ලේෂණක් සිදු කිරීම සඳහා විද්‍යත්මක අධ්‍යන දත්ත රැස් කෙරේ. මෙහිදී එක් එක් සාගර කලාපය ජලයෙහි අඩංගු ක්ලොරොෆිල් සහ සෙසු ප්ලැන්ක්ටන් වර්ගවල අඩංගු වර්ණක ප්‍රමාණය එකිනෙකට වෙනස්බව පැහැදිලිව දක්නට ලැබුණුබව විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවල සඳහන් වේ. මේ සඳහා අධි තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් ලබාගත් ඡායාරූප භාවිතා විය. ඒවා විවිධ වර්ණවලින් සහ එකිනෙකට වෙනස් වර්ණ තීව්‍රතාවන්ගෙන් යුතු ඡායාරූප විය. නිදසුනක් ලෙස ක්ලෝරොෆිල් වර්ණක සාන්ද්‍රනය බහුලප්‍රදේශ තද කොළපැහැති වීම දැක්විය හැකිය.
මෙම ව්‍යාපෘතිය යටතේ සාගර මත ජලයේ වර්ණ තීව්‍රතා මත සාගර ජීවයේ ව්‍යාප්තිය පිළිබද අවබෝධයක් පර්යේෂකයින් ලබා ගත් අතර දේශගුණික විපර්යාස සිදුවීම කෙරෙහි සාගරවල බලපෑම් කෙබදුද යන්න තවදුරටත් අධ්‍යනය කෙරිණි.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතියෙන් ලද ප්‍රතිඵල අනුව පර්යේෂකයින් වෙත පැන නැගුණු විවාදයට තුඩුදුන් කරුණක් වන්නේ සාගර ජීවීන්ගේ ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය මඟින් වායුගෝලයෙන් අවශෝෂණය කෙරෙන කාබන්ඩයොකසයිඩ් වායු ප්‍රමණයට සාපේකෂව සාගර වාසීන් විසින් ශ්වසනය ඇතුළු ක්‍රියාවලීන්ගෙන් පරිසරයට මුදාහරිනු ලබන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ අගයක වේය යන්නයි. සාගරය මෙන්ම පෘතුවිය මත ඇති සියළුම ජල ප්‍රභවයන් ද විශාල කාබන් සංචිත බව පැහැදිලි කරුණක් වන අතර එමඟිගින් කාලගුණික සහ දේශගුණික විපර්යාස සඳහා යම් ප්‍රමුඛ බලපෑම් සිදුකළ හැකි බව ද විද්‍යාත්මක කරුණු අනුව සනාථ කොට ඇති කරුණකි.

කෙසේ වෙතත් වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් වායුව ජලයේ දියවන බව අපි දනිමු. නමුත් සාගර ප්‍රදේශවලදී උෂ්ණත්වය අඩු සහ සැඩපහර සහිත තත්ත්වවලදී ජලය මෙම වායුව වැඩි වශයෙන් අවශෝෂණය කර ගනී. උෂ්ණත්වය සාපේකෂව අඩු සහ නිෂ්චල ජලයෙහි මෙම වායුවේ ද්‍රාව්‍යතාවය අඩුය. ඇන්ටාක්ටික් සාගරය මඟිගින් කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය සම්බන්ධව සිදු කෙරුණු අධ්‍යනය මඟිගින් ඉහත දැක්වූ ද්‍රාව්‍යතාවයෙහි සීඝ්‍රතාවයේ සාධක හේතුවෙන් 90 දශකයේ මුල භාගයේදී ලොව සාගර අවශෝෂණය කෙරුණු කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය අතුරින් 60% උතුරු ඇන්ටාක්ටික් සාගරය විසින් අවශෝෂණය කොට ඇතැයි සැලකේ. එය ප්‍රමාණාත්මකව වසරකට ගිගාටොන් 2ක් පමණ ප්‍රමාණයකි.

කාබන්ඩයොක්සයිඩ් වායුව සාගරයේ දියවීම සහ ප්‍රභාසංශ්ලේෂණය සඳහා සාගර ජීවීන් විසින් අවශෝෂණය කරගැනීම ප්‍රවේග දෙකකින් සිදුවන අතර සාපේක්ෂව වඩා වැදගත් වන්නේ සහ වඩා වේගවත් වන්නේ ප්‍රභාසංශ්ලේෂණයයි. නමුත් සාගරයේ වෙසෙන පයිටොප්ලැන්ක්ටන් විසින් සෑම වසරකම දළ වශයෙන් ගිගාටොන් 100 පමණ ස්වසනය මඟින් වායුගෝලයට මුදාහරිනු ලැබේ.

මේ අනුව සාගර ජලයේ අනන්ත අප්‍රමාණ ගණනින් ජීවත්වන අන්වීක්ෂීය හරිත ඇල්ගාවන් ප්‍රභාසංශ්ලේෂණය මඟිගින් ආහාර නිපදවීමේ ක්‍රියාවලිය සඳහා කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගැනීමේදී සාගරය හරිතාගාර වායුවක් වායුගෝලයෙන් ඉවත් කිරීමට දායක වන අතර ස්වසනයේදී කාබන්ඩයොක්සයිඩ් වායුව පරිසරයට මුදාහරිමින් කාබන්ඩයොක්සයිඩ් ප්‍රභවයක් ලෙස ක්‍රියාකරයි.
පර්යේෂකයින් විසින් ඊසානදිග ඇන්ටාක්ටික් සාගරය මත සිදු කරන ලද ආලෝකය පවතින විටදී ඔක්සිජන් නිෂ්පාදනය සහ අඳුරේදී ඔක්සිජන් වැයවීම පිළිබදව අධ්‍යනයකින් පසුව ඔක්සිජන් වැය කරමින් සිදුකරන ස්වසන ක්‍රියවලිය ප්‍රභාසංශ්ලේෂණය අභිබවා සිදුවන බව අනාවරණය කොටගෙන ඇත.

පර්යේෂණ දත්ත අනුව එම සාගර කලාපයෙහි ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය මඟිගින් සිදුවන ඔක්සිජන් නිෂ්පාදනය දිනකදී වර්ගමීටරයකට මිලිග්‍රෑම් 2600±271 ලෙස ද, ස්වසන ක්‍රියාවලිය සඳහා වැයවන ඔක්සිජන් ප්‍රමාණය දිනකදී වර්ගමීටරයකට මිලිග්‍රෑම් 3821±276 ලෙසද අධ්‍යයනය කොට ඇත.

මෙම කරුණු පරිශීලනය මඟිගින් අපට තහවුරු වන එක කරුණක් ඇත. එනම් හරිතාගාර ආචරණයට හේතුවන කාබන්ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය සඳහා ස්වභාවික පරිසරයෙන් ක්‍රියාත්මක යාන්ත්‍රනය පිළිබඳ සම්පූර්ණයෙන් විශ්වාස කිරීම තව තවත් පාරිසරික ගැටළු උද්ගතවීමට හේතුවන බවය. එබැවින් මිනිසා විසින් කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු පරිසරයට මුදාහැරීම අවම කිරීමට ගන්නා ක්‍රමවේදයන් වඩාත් කාර්යක‍ෂම කිරීම ඉතා කඩිනමින් සිදු කළ යුතු කාර්යයක් බව පැහැදිලි වේ.

එසේම කාබන්ඩයොක්සයිඩ් වායුව සාගරයෙහි වැඩි වශයෙන් ද්‍රාවණයවීම සාගර ජලය ආම්ලිකකරණයවීමට හේතු වේ. මේ මඟිගින් කොරල්පර පරිසර පද්ධතීන්ට මෙන්ම කවච දරණ ජීවින්ට ගැටළු මතුවේ. මෙම තත්ත්වය සාගර පරිසරයේ සමතුලිතතාවයට දරුණු බලපෑම් ඇති කරයි. මේ අනුව වයුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් වායුව සාගර ජලයේ ද්‍රාවණය වීම නිසා සාගරය ආම්ලිකකරණය වීම යනු පරිසර විසින් අප වෙත දෙනු ලබන අවසාන රතු නිවේදනයයි. පරිසර හිතකාමි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය සඳහා හුරුවීම මෙම ගැටළුව සඳහා ප්‍රබල විසඳුමක් වන්නේ පොසිල ඉන්ධන භාවිතය මහා පරිමාණයෙන් කාබන්ඩයොක්සයිඩ් ඇතුලූ හරිතාගාර වායු වායුගෝලයට මුදාහැරෙන ප්‍රධාන ක්‍රියාවලිය ලෙස සැලකෙන නිසාය.

මූලාශ්‍ර

Berger, W.H., Smetak,V.S., and Wefer,G., (eds.), “Productivity of the
Ocean:Present and Past”, Wiley:New York(1989).
Cladeira, K. and Wickett, M.E., (2003) “Anthropogeniccarbon and ocean pH.”Nature 425”
Doney,S.C.,Fabry,V.J.,et al(2009)”Ocean Acidification; The other carbon dioxide problem”Annula Review of Marine Science”.
http://earthobservatory.nasa.gov.
http://ocean-climate.org
http://www.pmel.noaa.gov

එච්. එම්. පී. පෙරේරා
18 அக்டோபர் 2019
එච්. එම්. පී. පෙරේරා මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ, පුත්තලම ප්‍රාදේශිය කාර්යාලයේ, සමුද්‍ර පරිසර නිලධාරීවරයෙකු වශයෙන් කටයුතු කරයි.  ඔහු විසින් රචිත මෙම ලිපිය ප්‍රථමයෙන් මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යංශයේ සොභා සඟරාව ඔස්සේ පලවූ අතර; මෙම කථිකාසනය සොභා සඟරාව සමඟ එක්ව ගෙන එන ලිපි පෙලේ තුන් වැන්න ලෙස මෙම ලිපිය ඔබ වෙත ගෙන එන්නෙමු .

கருத்துக்கள்(0)

  • உள்நுலைக அல்ைது பதிவவசய்க
  • கடவுச்சொல்லை மறந்துவிட்டீர்களா
  • புதிய கடவுச்சொல்
  • பதிவுவசய்க
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் கடவுச்சொல்லை இழந்தீர்களா? உங்கள் பயனர்பெயர் அல்லது மின்னஞ்சல் முகவரியை உள்ளிடவும். மின்னஞ்சல் வழியாக புதிய கடவுச்சொல்லை உருவாக்க நீங்கள் இணைப்பைப் பெறுவீர்கள்.