ගං වතුරෙන් වන හානිය අවම කර ගන්නට වෙර දරන රත්නපුර ව්‍යාපාරිකයෝ
Verité Research
29 July 2019

ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් අවධානම ඉහළ ප්‍රදේශයක් වන රත්නපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන්ට ගංවතුර නිසා මුහුණපෑමට සිදුවන දුෂ්කරතා ඉහල මට්ටමක පවතී. 1990 සිට 2018 කාලය තුල රත්නපුර නගරය 12 වාරයක් පමණ ගංවතුර උවදුරට මුහුණ දුන් අතර 2003, 2016 සහ 2017 වසරවල මුහුණ දුන් ගංවතුර තත්වය මේ අතරින් දරුණුතම ගංවතුර තත්වයන් ලෙස හඳුනාගත හැකිය. 2017 වසරේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්  2977 කට හානි සිදුවූ අතර එය රටේ සමස්ත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හානිවලින් 69% කට ආසන්න ප්‍රමාණයක් විය.[2] තවද රත්නපුර අවිධිමත් කර්මාන්ත හා වාණිජ අංශයට සිදු වූ පාඩුව රු. 243,989,036 ලෙස ගණන් බලා තිබේ.[3]

ගං වතුර තර්ජනයට නිරතුරුව මුහුණ දෙන රත්නපුර ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ගං වතුර පිළිබඳව ඔවුන්ගේ අත්දැකීම් මෙන්ම එමගින් වන හානිය අවම කර ගැනීමට කළ හැකි දේ පිළිබඳව හුවමාරුකරගත් තොරතුරු අප මෙසේ ඔබට ගෙන එන්නෙමු.

 

ධම්මික කුමාරගේ කතාව

 

සබරගමුව වාණිජ සහ කර්මාන්ත මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන ධම්මික කුමාරගේ 2002 වසරේ තම ව්‍යාපාරය ආරම්භ කළේය. එය රත්නපුර නගරයේ කෙලින් විදියේ පිහිටා තිබෙන කාර්මික අවශ්‍යතා  සහ ගෘහ අවශ්‍යතා සඳහා උවමනා වන විදුලි උපකරණ අලෙවි කරන වෙළඳසලකි.

කුමාරගේ සිය ව්‍යාපාරය අරඹා වසරක් යන්නට මත්තෙන් 2003 දී පැමිණි අඩි අටක ගංවතුරෙන් ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ බිම් මහල සම්පුර්ණයෙන් යට විය. ඉන් පසු 2016 සහ 2017 වසරවල පැමිණි ගංවතුරට ද ඔහුගේ ව්‍යාපාරය යට වූ අතර, ඔහු ඒ පිලිබඳව අපට පැවසුවේ මෙසේය.

“2016 එකෙන් මගේ ගෙදර යට වුනා, වාහන යටවුනා, බිස්නස් එක යට වුනා. ලක්ෂ ගණනක පාඩුවක් වුණා”

කුමාරගේ පවසන පරිදි මේ වන විට රත්නපුර නගරයේ පමණක් වෙළඳසල් 2750 තිබෙන අතර එහි 10,000කට වැඩි ප්‍රමාණයක් රැකියා කරයි. ඔහුගේ අදහස අනුව එයින් 500කගේ පමණ රැකියා පවතින්නේ ගංවතුර නිසා අවදානමේය. රත්නපුර නගරය 75% ක් ගංවතුරෙන් යටවන අතර තවත් පසෙකින් මිනිසුන් ජිවත්වන ගම් පෙදෙස් ද 75%කින් පමණ ගංවතුරෙන් යටවීම රත්නපුර නගරයේ ජනතාව මුහුණ දෙන බරපතල ගැටලුවකි. මේ නිසා සිය ජිවිත ගංවතුර සමඟ ගැටගසාගෙන ගෙවා දැමීමට ඔවුන්ට සිදුවී තිබේ.

දාස්මන්ගේ කතාව

සම්මානලාභී  නව නිපැයුම්කරුවෙකු වන දාස්මන් රත්නපුර කොස්පලවින්න ප්‍රදේශයේ පදිංචියට පැමිණෙන්නේ 1993 වසරේදීය. මෙම ප්‍රදේශය ගංවතුර තර්ජනයට හසු නොවන ප්‍රදේශයක් ලෙස සලකුණු කර ඇති ප්‍රදේශයකි. තම නිවස අසලම MV Electronics Private Limited නමැති ව්‍යාපාරය ඔහු ආරම්භ කරන්නේ 2003 වසරේදීය. ඔහුගේ ව්‍යාපාරය යතුරුපැදිවලට අවශ්‍ය වයර් සහ සන්නාහ (Harness) නිෂ්පාදනය කර බෙදා හැරීමයි. ඒ අතරම ඩේවිඩ් පිරිස් සමාගමේ ඒජන්තවරයෙකු ලෙස වාහන සේවා ස්ථානයක් ද, දාස්මන් පවත්වාගෙන යයි.

සිය දක්ෂතාවය නිසාම ඔහු දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බොහෝ සම්මාන හිමිකරගෙන ඇත. 2017 දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවති නව නිපැයුම් සඳහා  ජාත්‍යන්තර ප්‍රදර්ශනයෙන් ලොව තුන් වෙනි ස්ථානය ද, ඉන්දුනීසියාවේදී හොඳම වාණිජකරණයට හිමි සම්මානය ද, සබරගමුව පළාතේ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී නවෝත්පාදනය අංශයේ හොඳම ව්‍යවසායකයාට හිමි රන් සම්මානය ද, දාස්මන් තමන් සතු කරගෙන තිබේ.

තවද, ඔහු 2006 කර්මාන්ත ප්‍රදර්ශනයෙහි ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් උපකරණ නිෂ්පාදන අංශයෙන් ඉදිරිපත් කල නව නිර්මාණයට එම අංශයේ දෙවැනි ස්ථානය ද, ජනාධිපති සම්මානය ද හිමි විය. දාස්මන්ට  තම ව්‍යාපාරය ආරම්භ කල 2003 වසරේම ගංවතුරට මුහුණ දීමට සිදුවූ අතර, ඉන් පසු 2017 වසරේ පැමිණි ගංවතුරෙන් ද ඔහුගේ ව්‍යාපාරික ස්ථානය යටවිය. එම වතාවේ දී ව්‍යාපාරයේ යන්ත්‍රවලට අලාභහානි සිදුවීම නිසා ලක්ෂ දෙක හමාරක – තුනක පමණ පාඩුවක් දරන්නට ද, දාස්මන්ට සිදුවිය.

ගං වතුර එන විට දාස්මන් සිටියේ විදේශගතවය. එම උවදුරට මුහුණ දුන්නේ ඔහුගේ බිරිඳ සහ දරුවන්ය. දාස්මන්ගේ බිරිඳ අපත් සමඟ ඒ අත් දැකීම විස්තර කලේ මෙලෙසය.

“වතුරේ පාට දිහා බලලා කියන්න පුළුවන්, සාමාන්‍ය වතුරක් ද, ගංවතුරක් ද, කියල. එදා උදේ ආව වතුර පැහැදිලියි. පුතාලා වතුරේ බැහැලා සෙල්ලම් කරා. දහයහමාර, එකොළහ විතර වෙනකොට තමයි මඩ එන්න ගත්තේ. මඩ එන්න ගත්තම පස්සේ තමයි අපි කලබල වුනේ දැන්නං ගංවතුර කියලා. අපි බඩු අස් කරන්න පටන් ගද්දි වතුර අපේ පතුල මට්ටමේ තිබුනේ. පැය එක හමාරක් වගේ කාලයක් යද්දී වතුර ගොඩක් වැඩි උනා. අන්තිම තප්පරේ සර්විස් එකට දාලා තිබුණු වාහන ටික අරගෙන ඉවරවෙනකොට වතුර අපේ උකුල මට්ටමට ඇවිල්ලා.”

ස්වභාවික ආපදාවක් වන ගංවතුර තත්වය නිසා ඇතිවෙන දුෂ්කරතා වලින් පීඩාවට පත් ජනතාවට, ව්‍යාපාරිකයන්ට මුල්‍ය සහන ලබාදීමට රජය 2017 වසරේ පියවර ගත්තේය.

දාස්මන් පැවසුවේ ඔහුට රජයෙන් දෙයාකාරයකින් මුල්‍ය සහන ලැබුණු බවයි. එයින් එක සහනයක් ලැබී තිබෙන්නේ  රුපියල් 10,000ක මුල්‍යාධාරයක් ලෙසය. 2017 මැයි මස පැමිණි ගංවතුර සඳහා ලැබිය යුතු මෙම මුදල ඔවුනට ලැබුනේ 2018 නොවැම්බර් මාසයේ දී බව දාස්මන් මෙහිදී අපත් සමඟ පැවසිය. අනෙක් සහනය ලැබී තිබෙන්නේ ලංකා බැංකුවෙන් 2% අඩු පොලී ණයක් ලෙසය.  රුපියල් 10,000 ලැබීමට වසරකට වඩා කාලයක් ගත උනත්, අඩු පොලියට ලැබුණු ණය, කරදරයක් නැතිව ඉක්මනින් ලබා ගැනීමට පුළුවන් වූ බව දාස්මන් අප සමග පැවසුවේය.

“මං විස්තර ඔක්කොම ලියලා යැව්වා. හැබැයි ඒකනන් එකපාරින්ම අනුමත වෙලා අවා. එකම සැරේ ඒක හම්බුනා.”

කුමාරගේට රජයෙන් ලැබුණු මුල්‍යාධාර පිළබඳව තිබුනේ වෙනස් අත්දැකීමකි. ඔහු පැවසුයේ ආධාර මුදල් ලබා දීම සිදු වුනේ නියමිත ක්‍රමවේදයකට නොවන බවයි. ඔහුගේ අසල්වැසි ව්‍යාපාරික ස්ථානයට වන්දි මුදල් ලැබුනත්, ඒ සමගම යට වුනු තම ව්‍යාපාරයට කිසිඳු වන්දි මුදලක් නොලැබුණු බව ඔහු පැවසීය. ඒ පිළිබඳව කුමාරගේ අපට පැවසුයේ මෙසේය.

“වන්දි ගෙව්වාට මම  හිතන්නේ නෑ ඒක සාධාරණ ක්‍රමයකට වුනා කියලා. මම වගේම තව ව්‍යාපාරිකයන් ඉන්නවා කිසිම විදියකින් වන්දියක් ලැබිලා නෑ. නමුත් සමහර නොලැබිය යුතු තැන් වලටත් ලැබිලා තියෙනවා”

කෙසේ වෙතත් කුමාරගේ පවසන්නේ තම ව්‍යාපාරය රක්‍ෂණය කර තිබු නිසා ඒ හරහා ඔහුට අලුත්වැඩියාව සඳහා මුදල් ලැබුණු බවයි.

රජයෙන් ලැබුණු මුල්‍ය සහනයට අමතරව තම ව්‍යාපාරයට සිදුවූ අලාබය පියවා ගැනීමට ඩේවිඩ් පිරිස් ආයතනයෙන් පොලි රහිතව ලක්ෂ 5ක මුදලක් ලැබුණු බවත්,එම මුදල ව්‍යාපාරික ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට විශාල උපකාරයක් වූ බවත් දාස්මන් අප සමග කීවේය.

ගංවතුරක් ළඟ එන බව දැන ගන්නා ආකාරය

 

ගංවතුරකින් විය හැකි හානිය අවම කර ගැනීමට ගංවතුර පිලිබඳ කලින් දැනුම්දීමේ ක්‍රමයක් තිබීම ඉතා වැදගත් වේ. නමුත් මෙසේ කලින් දැනුම් දීමේ සාර්ථක ක්‍රමයක් ක්‍රියාත්මක වී නොමැති බව දාස්මන් පැවසිය.

ඔහුට අනුව ගංවතුර තත්වයක් ඇතිවන බව ඔහු කල්තියා දැනගන්නේ මෙසේය.

“මම දන්න විදියට අඩු ගානේ පැය 3ක් එක දිගට වැස්සොත්, එකම වේගයෙන්, අනිවාර්යෙන්ම වතුර ගලනවා. මට ඒක කියන්න තේරෙන්නේ නෑ මිලිමීටර් කොච්චරද කියලා. ඇඟට දැනෙනවා ගංවතුර සුලඟ. අන්න ඒක තුල අනිවාර්යෙන්ම දන්නවා මේකනං ෂුවර් එකටම ගං වතුරක් කියලා.ඒක තමයි සිග්නල් එක. ඒ වගේම සාමාන්‍ය වතුරක් නම් එන්නේ පැහැදිලි වතුර. වතුර බොර පාට වුනොත් ඒක ගංවතුර.”

ගංවතුරින් වන හානිය අවම කරනගන්න ගෙන ඇති පියවර

රත්නපුර දිස්ත්‍රික්කයේ ස්වභාවික ආපදා කලමනාකරණ සැලසුම පිළිබඳව රත්නපුර වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වන තමන් හෝ වාණිජ මණ්ඩලයේ  සාමාජිකයන් දැනුවත් වී නොමැති බව කුමාරගේ පවසයි. එමන්ම දිස්ත්‍රික් මට්ටමේ අපදා කළමනාකරණ කමිටුවක් ඇති බවක් ද ඔහු දැන සිටියේ නැත.

දාස්මන් එවැනි සැලැස්මක් ඇති බව සෘජුව දන සිටියේ නැත. ඔහු ආපදා කළමනාකරණ කමිටුවක් ඇති බව අසා තිබුණේ තමන්ගේ ‘සර්විස් සෙන්ටර්’ එකට පැමිණ වාහන අලුත්වැඩියා කරන රාජ්‍ය නිලධාරින් කරන කතා බස් නිසාය.

රජය පැත්තෙන් ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් වී නොසිටි නමුත්, එවැනි උවදුරකින් යලිත් විය හැකි හානිය අවම කර ගැනීමට මේ වන විට ඔවුන් තම තමන්ට හැකි අයුරින් පියවර ගෙන තිබේ. දාස්මන් තම හානිය අවම කරගැනීමට ගත් එක පියවරක් නම් තම යන්ත්‍ර ආරක්ෂාව සඳහා 2017  වතුර පැමිණි මට්ටමට වඩා උස් ස්ථානයකට රැගෙන යාමයි.  එමෙන්ම ගංවතුරක් ළඟ එන බව දැනගත් විගස තම සේවාදායකයන්ට ඇමතුම් ලබාදී හැකි ඉක්මනින් ඔවුන්ගේ වාහන රැගෙන යන ලෙස දැනුම්දීමට ඔහු සැලසුම් කරගෙන සිටී. එමෙන්ම ඔහු තම යන්ත්‍ර  ආරක්ෂා කරගැනීමට බලාපොරොත්තුවන තවත් ක්‍රමයක් ලෙස පවසන්නේ යන්ත්‍ර යම්කිසි පාවෙන ද්‍රව්‍යක් මත තැබීමයි. ගංවතුරින් වන හානිය අඩු කරගන්නට ගන්නා පියවර පිළිබඳ ඔහු අපට මෙසේ විස්තර කළේය.

“අලුතින් හදන බිල්ඩින් ගං වතුරට ඔරොත්තු දෙන විදියටම හදා ගෙන යන්න තමයි බලන්නේ. උදාහරණයක් හැටියට මම ඉස්සර පාටිෂන් කරලා තිබ්බේ අර නිකන් හාඩ් බෝඩ් වලින්. දැන් මම ඒක, ක්ලැඩින්වලින් කරගන්නවා. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. දිරන්නෙත් නෑ. ඇලුමිනියම් වලින් හදා ගත්තොත්. ඔක්කොම පොඩ්ඩක් හෝදලා ගන්න විතරයි තියෙන්නේ.”

පරම්පරා දැනුම සහ ගම්වාසීන්ගේ සහය

 

දිගුකාලින ගංවතුර අත්දැකීම් නිසා මේ වන විට රත්නපුර ප්‍රදේශවාසින් ගංවතුර ඇතිවිය හැකි කාලය පිළිබඳව යම් අවබෝධයකින් සිටි. අප්‍රේල් මාසයේ අලුත් අවුරුදු සමරා දින 45කින් ගංවතුරක් පැමිණීමට ඇති අවධානම ඉතා ඉහල බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. එබැවින් ඔවුන් එම කාලයේදී ගංවතුරකින් ආරක්ෂා වීම සඳහා තමන්ට හැකි අයුරින් පියවර ගනියි. මෙවැනි අවස්තාවක ගංවතුරට මුහුණ දෙන නිවාස හා ව්‍යාපාර පිලිබඳ ඔවුන් අත්දැකීමෙන් දන්නා නිසා එම ස්ථාන වල ජිවත්වන මිනිසුන්ට ගංවතුරෙන් වන හානිය අවම කරගැනීමට ප්‍රදේශවාසින් උපකාරී වෙයි. ඒ පිළබඳව කුමාරගේ අප සමග මෙසේ පැවසුවේ ය.

“ඉන්න මිනිස්සුන්ගේ පරම්පරාවෙන් ආපු දැනුමක් තියෙනවා ගංවතුරක් අවාම කාටද උදව් කරන්න ඕනේ එහෙම කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට මේ ප්‍රදේශවල ඉන්න හැම කෙනෙක් ම සංවිධානය වෙලා තමයි බේරගන්නේ, කෑම දෙන්නේ. අවට ඉන්න අය දන්නවා මේ මේ ගෙවල් යට වෙනවා, මේ ගොල්ලෝ බේරගන්න ඕනේ, මේ අයට කෑම දෙන්න ඕනේ කියන එක. රත්නපුරේ ජිවිත හානිය අඩු යි. ඒ මෙහෙ මිනිස්සු සැලකිලිමත් නිසා.”

කුමාරගේ පවසන පරිදි රක්ෂණ සමාගම් රත්නපුරයේ ගංවතුර හානි සඳහා රක්ෂණ ලබා දීමට මැලිකමක් දක්වයි. 2017 ට පෙර ඔහු සිය ව්‍යාපාරය රක්‍ෂණය කර තිබුන ද, ගංවතුරෙන් සිදුවූ හානියට සරිලන රක්ෂණ මුදක් ඔහුට ලැබී නොතිබුණි. නමුත් වාණිජ මණ්ඩලය සහ සමාජ මාධ්‍ය හරහා මේ පිළිබඳව කල දැනුවත් කිරීමන් පසුව දැන් රක්ෂණ සමාගම් ගංවතුර අපදා ආවරණය කරමින් ද රක්ෂණාවරණ සපයන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

කුමාරගේ සහ දාස්මන් තම ව්‍යාපාර රක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ. දාස්මන් මේ වනවිට මුළු දේපලම ආවරණය වන ලෙස රක්ෂණයක් ගෙන ඇති අතර ඒ සඳහා වසරකට 26,000ක් පමණ ගෙවයි.

ස්වභාවික අපදා වලට මුහුණ දීමට වැඩමුළු

 

වාණිජ මණ්ඩලය විසින් ඒෂියා ඩිස්සාස්ටර් ප්‍රිපෙයාඩ්නස් සෙන්ටර් (ADPC) යන සංවිධානය සමග එකතු වී “අවදානමට පෙර සූදානම” නමින් ව්‍යාපාරිකයන් දැනුවත් කිරීමේ වැඩ මුළු පැවැත්වීමටද කටයුතු කර ඇත. මෙම වැඩමුළුවල අරමුණ වන්නේ, ව්‍යාපාරිකයන්ට ගං වතුරෙන් වන හානිය අවම කර ගැනීමට, එවැනි උවදුරක් ඒමට පෙර ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමය. එය ප්‍රයෝජනවත් වැඩමුළුවක් බව දාස්මන්ගේ අදහසයි.

රත්නපුර ප්‍රදේශයට වන හානිය අවම කිරීමට තව කල හැකි දේවල් පිළිබඳ අදහස්
අනාගතයේදී ගංවතුරෙන් වන හානිය අවම කරගැනීමට ගතහැකි පියවරක් ලෙස පහත බිම් වතුර රැදෙන ස්ථාන ගොඩ කිරීම වැලැක්වීමට පියවර ගැනීම වැදගත් බව දාස්මන්ගේ අදහසයි. ඒ පිලිබඳ අදහස් දක්වමින් ඔහු මෙසේ කියා සිටියේය.

“මේ පැත්ත ගං වතුරට අහුවෙන්නේ නෑ කියන එකේ තමයි ගොඩක් වෙලාවට තිබුනේ. පහත් බිම් ටික, විශේෂයෙන් වතුර රැදෙන ස්ථාන ටික, ගොඩ කරලා තියෙන්නේ. ඉදිකිරීම් කරලා තියෙන්නේ. වතුර බහින්න තැනක් නෑ. ඒක තමයි මෙහෙටත් දැන් වතුර එන්න ප්‍රධාන හේතුව. දැනට වතුර රැදෙන්න තැනක් නෑ. ඉක්මනටම අපිව යට වෙනවා. තව ඉස්සරහට ගං වතුරක් ආවොත් මම හිතනවා මීට වැඩිය වතුර එයි කියලා.”

හානිය අවමකරගැනීමේ තවත් ක්‍රමයක් ලෙස ප්‍රදේශ මට්ටමින් කමිටු පත්කිරීම සිදුකල හැකිය. ඒ පිළිබඳව කුමාරගේ අප සමග මෙසේ පැවසුවේය.

“මම කියන්නේ අපිට අර යුද්දේ කාලේ තිබ්බ නේ අර සිවිල් ආරක්ෂක කොමිටුවක්. ඒක හොඳයි. පස් දෙනෙකුගේ කණ්ඩායමක්. එයාලා රිපෝර්ට් කරන්න ඕන කාටද කියල, කවුරු ළගට ද යන්න ඕනේ කියලා දන්නවා. ඒ වගේම ගංවතුර සම්බන්ධයෙනුත් තියෙනවනන්, එහෙම සක්‍රීය  ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි.දැනට එහෙම නෑ.”

තවද ගංවතුරෙන් වන හානිය අවම කිරීම සඳහා කලින් දැනුවත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කුමාරගේ පැවසුවේ මෙවැනි අදහසකි.

“අඩුම තරමේ මෙච්චර මිලි ලීටර් ප්‍රමාණයක් වහිනවා කිවුවොත්, අපට  ගං වතුරක් එන්නට තිබෙන ඉඩ කඩ පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්.රත්නපුරේ ව්‍යාපාරික ප්‍රධාන පෙලේ සියලු දෙනාම සමාජ ජාලා විසින් සම්බන්දයි. පණිවිඩයක් දුන්නත්, මෙතන තියෙන ෆොන් නම්බර්ස් ටික අරන් අපි දෙනවා පණිවිඩය ක්ෂණිකව. විනාඩි 5ක් ඇතුලත 300ක් දැනුවත් කරන්න පුළුවන්. අපේ තියෙනවා ව්ට්ස්ඇප් වගේ ගෘප්. දාපු ගමන් ටක් ගාලා  එක පාර ව්‍යාපාරිකයන් 300 කට වැඩි ප්‍රමාණයක් දැනුවත් කරන්න පුළුවන්.”

අවසාන වශයෙන් රත්නපුර වාණිජ මණ්ඩලයේ සභාපති ලෙස ධම්මික කුමාරගේ කල ඉල්ලීම මෙසේය.

“මම ඇත්තෙන්ම වාණිජ මණ්ඩලයේ සභාපති හැටියට ඉල්ලීමක් කරනවා. අපි ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් නියෝජනය කරනවා. දැන් අපි ගොඩක් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අපි රත්නපුරේ වාණිජ මණ්ඩලය හැටියට රාජ්‍ය  අංශ එක්ක එකට වැඩ කරලා ඒවා සාර්ථක වෙලා තියෙන බව. දැන් මේකෙදීත් අපිව කොටස්කාරයෙක් කර ගන්න කරන්න කියලා මම රජයට ඉල්ලීමක් කරන්න කැමතියි.”

මෙම ලිපියේ දෙවන කොටස සඳහා පිවිසෙන්න

Comments(0)

  • Login or Register
  • Forgot Password
  • New Password
  • Register
Enter your information below
Enter your information below
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.