ස්වභාවික ආපදාවන්ට මුහුණ දීමට අප කෙතරම් සූදානම්ද?
සටහන - සදීෂා ධර්මප්‍රේ
27 செப்டம்பர் 2019

UNLOCKED කථිකාසනය ඔස්සේ දිගහැරෙන ආපදා අවදානම අවම කිරීම පිලබඳ කථිකාවතට පසුගිය දින ‘රැස’ වෙබ් අඩවියේ අවධානය යොමු විය.මේ එහි උපුටා ගැනුමකි

ස්වාභාවික ආපදාවකින් වෙන හානිය ගැන කතා කරන්න ස්වාභාවික ආපදාවක් වෙනකල්ම බලන් ඉන්න අපි පුරුදු වෙලා. නමුත් ගොඩාක් දෙනෙක්ට අමතක කාරණයක් තමයි ස්වාභාවික ආපදාවලට කල්තියාම සූදානම් වෙන්නට වගේම ස්වාභාවික ආපදා තත්ත්වයකදී සහන සලසන්නට අපේ රටේ වැඩපිළිවෙළක් පවතිනවාය කියන එක. ඒත් ඒ වැඩපිළිවෙළ ඒ කියන විදිහටම ක්‍රියාත්මක වෙනවාද? මේ කාරණය ගැන විමසුමට ලක් කළ පර්යේෂණ වාර්තාවක් වෙරිටේ රිසර්ච් ආයතනය පසුගියදා එළිදැක්වූවා. ඒ ගැන දැනගන්න අපි වෙරිටේ රිසර්ච් ආයතනයේ සහකාර විශ්ලේෂිකා ලහිරි ජයසිංහ එක්ක කතාබහක යෙදුණා.

ස්වාභාවික ආපදා තත්ත්වයන් ගැන අවධානය යොමු කළ යුතුව තිබෙන්නේ ඇයි?

2017 වසරේ සිට 2019 වසර දක්වා සැලකීමේදී ලෝකය මුහුණ දෙන අංක එකේ අවදානම හැටියට ලෝක ආර්ථික සංසදය වර්ග කරලා තියෙන්නේ බරපතළ කාලගුණ තත්ත්වයන්. ඒ වගේම තමයි 2019 වසර සඳහා මේ සංසදය පිළියෙල කර තිබෙන වාර්තාවේ බරපතළ කාලගුණ තත්ත්වයන් හැරුණහම, ලෝකය හමුවේ තිබෙන අනෙක් අවදානම් හැටියට හඳුන්වා දී තිබෙන්නේ දේශගුණ විපර්යාස පාලනය කර ගැනීමෙහිලා අපොහොසත් වීම සහ ලොව සියලු දෙනාටම අදාළ වන ස්වාභාවික ආපදා තත්ත්වයන්.

මෙවැනි තත්ත්වයක් පවතින නිසා ස්වාභාවික ආපදා තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කළ යුතුව තිබෙනවා. එය අප පමණක් නොවෙයි ලෝකයේ කොයි කවුරුත් සිදු කළ යුතුවම තිබෙන දෙයක්.

ශ්‍රී ලංකාවට තිබෙන අවදානම මොන වගේද?

ලෝකයේ රටවල් 183ක් ආවරණය කරමින් බරපතළ කාලගුණ තත්ත්වයන්වලින් එම රටවලට සිදු වන හානිය ගෝලීය දේශගුණ අවදානම් දර්ශකය යන දර්ශකය යටතේ වර්ග කරන ‘ජර්මන්වොච්’ සංවිධානයට අනුව 2017 වසරේ බරපතළ කාලගුණ තත්ත්වයන්ගෙන් වඩාත්ම හානි සිදුව තිබෙන රටවල් තුන අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්.

අපට හැම අවස්ථාවකම වගේ මුහුණ දෙන්නට සිදු වන ස්වාභාවික ආපදා තත්ත්වයන් හැටියට ගංවතුර, නියඟය සහ නාය යෑම් හඳුන්වා දෙන්නට පුළුවන්. අවධානය යොමු කළ යුතු කාරණය තමයි මේ ස්වාභාවික ආපදා තත්ත්වයන් ඇති වන්නේ පෙර සඳහන් කළ බරපතළ කාලගුණික තත්ත්වයන්වල ප්‍රතිඵලයක් හැටියට බව. ඉතින් මේ නිසාම ලෝකයට වගේම අපටත් දැඩි අවදානමක් එල්ල වෙලා තිබෙන බව කියන්න පුළුවන්.

ඒ අවදානම රටට වගේම රටේ ජනතාවට බලපාන හැටි ගැන පැහැදිලි කළොත්?

පැහැදිලිවම මේ අවදානම අපට බලපෑමක් එල්ල කරනවා. ඒ බලපෑම ජීවිත සහ දේපළවලටත් එහාට ගිහිල්ලා රටේ ආර්ථිකය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර දක්වාත් විහිදෙන දෙයක්. ලබා ගත හැකි දත්තවලට අනුව 2009 සිට 2018 දක්වා ගෙවී තිබෙන කාලයේ ගංවතුර, නියඟය සහ නාය යෑම් යන ස්වාභාවික ආපදා තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වීම නිසා වසරකට ලක්ෂ 20ක පමණ ජනතාවක් ආපදාවට පත්ව තිබෙනවා. ජීවිත හානි, දේපළ හානි, උන්හිටි තැන් අහිමි වීම්, මේ කියන ආපදාවලට ඇතුළත්.

ආර්ථිකයට එල්ල වන බලපෑම සැලකිල්ලට ගත්තොත් ලබා ගන්නට පුළුවන් දත්තවලට අනුව 1998 සිට 2017 අතර කාලයේ සිදුව තිබෙන ස්වාභාවික ආපදා තත්ත්වයන් නිසා රටේ දළ දේශීය නිශ්පාදිතයට වාර්ෂිකව සියයට 0.3ක පමණ අලාභයක් සිදුව තිබෙනවා.

එහෙම අවදානමකට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාව ගෙන තිබෙන පියවර ගැන සඳහන් කළොත්?

2004 සුනාමි ව්‍යසනය වෙනකල්ම ස්වාභාවික ආපදාවලට මුහුණ දීමට අප සූදානමින් සිටිය යුතු බවට හැඟීමක් තිබුණේ නැහැ. නමුත් සුනාමි ව්‍යසනයෙන් රටට සිදු වූ හානියත් එක්ක නැවත එවැනි හෝ වෙනත් ඕනෑම ස්වාභාවික ආපදා තත්ත්වයකට හෝ මුහුණ දීමට රට සූදානමින් සිටිය යුතු බව අවබෝධ කරගත් එවක රජය 2005 අංක13 දරන ආපදා කළමණාකරන පණත ස්ථාපිත කළා. ස්වාභාවික ආපදාවලින් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම වගේම රටේ පරිසරය ආරක්ෂා කර ගැනීම තමයි එම පනත ස්ථාපිත කිරීමේ අරමුණ වුණේ. ආපදා කළමනාකරණ පනත හඳුන්වා දීම තමයි ස්වාභාවික ආපදාවලට මුහුණ දීම සඳහා රට සූදානම් කිරීමට ගැනුණු වැදගත්ම පියවර.

මේ පනත යටතේ ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය යන ආයතනය පිහිටෙව්වා. ආපදා කළමනාකරණය සඳහා දැනට අපේ රටේ පවතින සැකිල්ල ගොඩනැඟී තිබෙන්නේ මේ ආයතනය කේන්ද්‍ර කරගෙනයි.

මේ කියන ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය ගැන වැඩි පැහැදිලි කිරීමක් කරනවා නම්?

ඔව්. ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය කියන්නේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර තිබෙන උසස්ම සහ ඉහළම ආයතනය. ආපදා කළමනාකරණයට අදාළ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සහ එම තීරණ ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින ආයතන අදාළ පරිදි එම තීරණ ක්‍රියාත්මක කරනවාද යන්න විමසුමට ලක් කිරීම තමයි ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලයේ කාර්යභාරය.

ජාතික ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සමඟත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමඟත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟත් අදාළ අමාත්‍යංශ සමඟත් ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය සම්බන්ධ වෙනවා.

කවුද මෙහි සාමාජිකයන්?

මෙම කවුන්සිලයේ සභාපතිවරයා වන්නේ රටේ ජනාධිපතිවරයා. උප සභාපතිවරයා වන්නේ රටේ අගමැතිවරයා. ආපදා කළමනාකරණ විෂයට අදාළ අමාත්‍යාංශවල අමාත්‍යවරුන් මෙහි සාමාජිකයන් වෙනවා. ඔවුන් පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයාත් මෙහි සාමාජිකයෙක්. ඔහු සමඟ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනුත් මේ කවුන්සිලයේ සාමාජිකයන් වෙනවා. පළාත් සභාවල මහ ඇමතිවරුන්ද මෙහි සාමාජිකයන් වෙනවා. රටේ ආපදා කළමනාකරණ කටයුතු සම්බන්ධයෙන් වන තීන්දු තීරණ ගැනීමේදී ඒ සඳහා රජයේ සියලුම නියෝජිතයන්ගේ සහභාගීත්වය තහවුරු කිරීමයි මෙවැනි සාමාජික පිරිසක් ජාතික ආපදා කළමණාකරන කවුන්සිලයට ඇතුළත් කර තිබීමේ අරමුණ.

මේ වගේ ආයතනයක් සහ ව්‍යුහයක් රටේ ඇතිවන ස්වාභාවික ආපදා තත්ත්වයන්වලදී ඒවාට මුහුණ දීමට සහ සහන සැලසීමට වගේම එවැනි තත්ත්වයන් අපේක්ෂාවෙන් කල් තියා සැලසුම් සකස් කරන්නටත් ප්‍රමාණවත් බව ඔබ සිතනවාද?

හොඳින්ම ප්‍රමාණවත්. ඔබ සඳහන් කළ සියලු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීම ජාතික ආපදා කවුන්සිලයේ වගකීමක්. ඒ බව ආපදා කළමණාකරන පනතේ පැහැදිලිවම සඳහන්ව තිබෙනවා. ඒ වගේම කලින් සඳහන් කළා වගේ එසේ ගන්නා ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කිරීමට සමත් ආයතන තිබෙනවා. ඒ නිසා අපේ රටේ ආපදා කළමනාකරණය කිරීම සඳහා දැනට තිබෙන ව්‍යුහය හොඳටම ප්‍රමාණවත්.

ඒ රාජකාරිය ඔවුන් ඉටු කරනවාද?

කනගාටුවෙන් වුණත් කියන්න තියෙන්නේ නැහැ කියලා තමයි.

ඒ කියන්නේ මේ කවුන්සිලය පසුගිය සමයේ ඇතිවුණු ස්වාභාවික ආපදා තත්ත්වයන්ට සහ පශ්චාත් ආපදා තත්ත්වයයන්ට සාර්ථකව මුහුණ දෙන්නට රට සූදානම් කරන්නට අපොහොසත් වුණු බවද?

මම මෙහෙම කියන්නම්. අපට මීට වඩා හොඳ සූදානමක් ඇතිව පසුගිය වසර කිහිපය පුරා ඇතිවුණු ස්වාභාවික ආපදා තත්ත්වන්ට මුහුණ දෙන්නට හැකිව තිබුණා. ඒ වගේම, පශ්චාත් ආපදා තත්ත්වයන් යටතේ මීට වඩා හොඳට සහන සේවා සපයන්නට සහ අදාළ කටයුතු කළමනාකරණය කර ගන්නට හැකිව තිබුණා. නමුත් අපට බැරි වුණා එහෙම තත්ත්වයක් ඇති කර ගන්නට. ඇයි මම මෙහෙම කියන්නේ? මම මෙහෙම කියන්නේ ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය ඔවුන්ගේ රාජකාරිය නිසි අයුරින් ඉටු කර නොමැති බවට අපිට කරුණු අනාවරණය කරගන්නට හැකි වුණු නිසායි.

ආපදා කළමනාකරණය වෙනුවෙන් රටේ පිහිටුවා තිබෙන ඉහළම ආයතනය ඔවුන්ගේ කාර්යභාරය හඳුනාගෙන ක්‍රියාත්මක කර නොතිබීම ආපදා තත්ත්වයන්ට කල්තියා මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරන්නට සහ ආපදා තත්ත්වයකදී අදාළ කටයුතු නිසි ලෙස කළමනාකරණය කර ගන්නට රටට නොහැකි වීම පසුපස තිබෙන ප්‍රධානම හේතුව කියලා කියන්න පුළුවන්.

කුමන සොයා ගැනීම් යටතේද ඔබ එහෙම සඳහන් කරන්නේ?

තික ආපදා කළමනාකරණ කවුන්සිලයේ ක්‍රියාකාරීත්වයට අදාළ තොරතුරු ලබා ගන්න අප තොරතුරු ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් යොමු කළා. එම ඉල්ලුම් පත්‍රයට ලැබුණු තොරතුරු යටතේ අප කළ විමසුමකින් අපට හැකි වුණා ප්‍රධාන කාරණා දෙකක් සොයා ගන්නට.

පළමුවැනි එක තමයි ආපදා කළමනාකරණ කටයුතුවලට අදාළ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්නට කවුන්සිලය නිසි පරිදි රැස්වීම් පවත්වලා නැහැ. දෙවැනි එක තමයි කවුන්සිලය එයට පැවරී තිබෙන බරපතළ වගකීම් සැලකිල්ලට අරගෙන නැහැ.

මේ කියන සොයා ගැනීම්වලට පදනම් වුණු කාරණා මොනවාද?

රැස්වීම් පවත්වලා නැහැ කියලා මම කලින් සඳහන් කළා. ආපදා කළමනාකරණ පනත අනුව ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය අවම වශයෙන් මාස 3කට වතාවක්වත් රැස්විය යුතුව තිබෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට 4 වතාවක්. ආපදා කළමනාකරණ පනත ස්ථාපිත කෙරුණු 2015 මැයි මාසයේ සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා කාලය ගත්තොත් මේ කියන හැටියට කවුන්සිලය අවම වශයෙන් 54 වතාවක්වත් රැස්වීම් පවත්වා තිබිය යුතුයි.

නමුත් අපි ගොනු කරපු තොරතුරු දැන ගැනීමේ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයට අනුව ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය 2015 සිට 2018 දක්වා කාලයේදී රැස්වීම් පවත්වලා තිබෙන්නේ 13 වතාවක් පමණයි.

පැවරී තිබෙන බරපතළ වගකීම් පැහැර හැරීම් ගැන කියනවා නම් ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය අනුමැතිය ලබා දිය යුතුව තිබුණු කරුණු කාරණා දිගින් දිගටම ප්‍රමාද කිරීමේ සහ කල්තියා ගත යුතුව තිබුණු පියවර නොසලකා හැරීමේ යෙදී තිබෙන බවට ලැබුණු තොරතුරුවලින් සනාථ කර ගන්නට අපට පුළුවන් වුණා.

වගකීම් පැහැර හැරීම ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?

අපේ අවධානයට ලක්වුණු එක උදාහරණයක් මෙතනට ගන්නට මම කැමතියි. 2005 – 2015 කාලය ආවරණය කෙරෙන ශ්‍රී ලංකාව ස්වාභාවික ආපදාවලින් වඩා සුරක්ෂිත රටක් බවට පත් කිරීම සඳහා ස්වාභාවික ආපදා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාවක්, ජාතික ආපදා කළමනාකරණ සැලසුමක් සහ හදිසි අවස්ථාවලදී මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික සැලැස්මක් වසර 2ක කාලයක් ඇතුළත සකස් කරන්නට නියමිත වුණා. මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ 2005 වසරේ. ඒ කියන්නේ 2007 වසර වෙනකොට මේ සියල්ල සකස් කර අවසන් කළ යුතු වුණා. නමුත් ස්වාභාවික ආපදා සම්බන්ධ ප්‍රතිපත්ති මාලාව සහ ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම සම්පූර්ණ කෙරුණේ පිළිවෙළින් 2010 සහ 2012 වසරවලදී. ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය එදා සිට අද දක්වා පවත්වා තිබෙන රැස්වීම්වල වාර්තා අධ්‍යයනය කිරීමේදී හදිසි අවස්ථාවල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන ජාතික සැලැස්මේ කෙටුම්පතක් පවා අද වන තෙක්ම එම කවුන්සිලය හමුවට ඉදිරිපත් කර නොමැති බව අපට සොයා ගන්නට පුළුවන් වුණා.

රටේ ස්වාභාවික ආපදා තත්ත්වයන් කළමනාකරණය කිරීමේ කටයුතුවලදී ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය එහි වගකීම් පැහැර හැර තිබෙන බව අප කියන්නේ මේ නිසා.

අවසානයට යමක් කියන්නට තිබෙනවාද?

ජාතික ආපදා කළමනාකරණ කවුන්සිලය පිහිටුවුණු 2005 වසරේ මැයි මාසයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලය සැලකීමේදී ඔවුන් රැස්වීම් පවත්වා තිබෙන්නේ 13 වතාවක් පමණයි. නමුත් කවුන්සිලය රැස්වීම් පවත්වා තිබෙනවාට වඩා වැඩි ස්වාභාවික ආපදා තත්ත්වයන් ගණනකට එම කාලය ඇතුළතදීම රටට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා. එහෙම තත්ත්වයක රටේ හොඳ ආපදා කළමනාකරණයක් සිදු වෙනවාය කියා කියන්නට පුළුවන්‍කමක් නැහැ.
ආපදා කළමනාකරණට අපට හොඳ ආයතනයක් සහ ව්‍යුහයක් තිබෙනවා. නමුත් ගැටලුව තිබෙන්නේ එම ආයතනය හරිහැටි ක්‍රියාත්මක නොවීම. එම ගැටලුව මගහරවා ගන්නට හැකියාවක් තිබෙනවා නම් මම හිතන්නේ ස්වාභාවික ආපදාවලට කල් ඇතුවම සූදානම් වන්නට සහ ස්වාභාවික ආපදා තත්ත්වයකදී හොඳ සූදානමකින් සහ අදාළ කටයුතු හොඳින් කළමනාකරණය කර ගනිමින් එම තත්ත්වයට මුහුණ දෙන්නට අපට හැකියාව තිබෙනවා.

கருத்துக்கள்(0)

  • உள்நுலைக அல்ைது பதிவவசய்க
  • கடவுச்சொல்லை மறந்துவிட்டீர்களா
  • புதிய கடவுச்சொல்
  • பதிவுவசய்க
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் தகவலை கீழே உள்ளிடவும்
உங்கள் கடவுச்சொல்லை இழந்தீர்களா? உங்கள் பயனர்பெயர் அல்லது மின்னஞ்சல் முகவரியை உள்ளிடவும். மின்னஞ்சல் வழியாக புதிய கடவுச்சொல்லை உருவாக்க நீங்கள் இணைப்பைப் பெறுவீர்கள்.