සෑම පුද්ගලයෙකු තුලම ස්වෙච්ඡා සේවකයෙක් ඇත
නිලුපුලී නයනතාරා ජයතිලක
20 November 2019

ලොව පුරා පවතින මෙම තිරසාර සංවර්ධන සංකල්පය ලංකාවට සංක්‍රමණය වී යම් කාල වකවානුවක් ගත වූවත් අප තමවත් ඉන් තිරසාර ප්‍රයෝජනයක් ලබා ගෙන නැත. මන්ද යත් මේ සංකල්ප හා න්‍යායන් සමාජය තුළට ගමන් කිරීමේ ප්‍රවාහයන් තුල තිබෙනා බාධක නිසාවෙනි. රටවල් 190ක් එකතු වී 2030 වන විට ලෝකය මිනිසාට වඩාත් යහපත් ස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින් ප්‍රධාන ඉලක්ක 17ක් හා සබැඳුනු මෙම තිරසාර සංවර්ධන ඉලක්ක ටිකෙන් ටික සමාජ ගත වීම දැන් ආරම්භ වී ඇති නිසා ඒවා තව දුරටත් තිරසාරත්වයෙන්ම පවත්වාගෙන යාම තරුණ ප්‍රජාවන් හා සමාජයේ යම් ප්‍රශ්න වලදී වගවිය හැකි පුද්ගලන්ට හා ආයතන වලට කල හැකි කාර්යයකි. ඒ සඳහා සියලු දෙනාටම එක්ව ක්‍රියාතමක විය හැකි වේදිකාව ස්වෙච්ඡා සේවයයි.

තිරසාර සංවර්ධනයේ මූලිකාංග තුනක් දැකිය හැක. ඒවා නම් ආර්ථික, සාමාජික (පුද්ගල බද්ධ) හා පාරිසරික යන ඒවා වේ. මේ මූලිකාංග ත්‍රිත්වයම පුද්ගලයාගේ අවශ්‍යතාවයන් මත පදනම් වූ එකකට එකක් බැඳී පවතින ඒවා වේ. රටක සංවර්ධනයට ආර්ථික දියුණුව අත්‍යාවශ්‍යම කාරණයකි. තිරසාර සංවර්ධන ඉලක්ක වල පළමු ඉලක්කය වන්නේත් “සියලු තැන්හි පවතින සෑම ආකාරයකම දුගී බව අවසන් කිරීම වේ” මා දකින අන්දමට මෙය දියුණු වෙමින් පවතින රටක් ලෙස අපට ලඟා විය හැකි ඉලක්කයකි. මන්ද අප රට තුල ඕනෑවටත් වඩා භාවිත නොකරණ නමුත් හඳුනා ගත් සම්පත් ඇත. ගැටලුව නම් ඒවාට ලඟා වීමට අපට ඇති නොහැකියාවයි. බොහෝ විට තාක්ෂණය නොමැතිකම, දැනුමක් නොමැතිකම හා දේශපාලන වැනි හේතු ඒවාට බලපානු ලැබේ. උදාහරණයක් ලෙස ජපානය ඔවුන්ගේ දියුණුවේ මාර්ගයේ මුල්ම පියවර ලෙස තම රටේ ජනතාවට තමාගේ රට ගැන ආදරයත් අභිමානයත් ගොඩ නැංවූහ, ඉන් පසු තම රටේ ඇති සම්පත් වලින් තමන්ගේ සංවර්ධනය කරා යාමට හැකි කෙලෙස දැයි ඔවුන්ට මඟ පෙන්වූහ. අපේ ලංකාවට අවශ්‍ය වන්නේත් එවැනිම ක්‍රමයකි. අප විසින් අපේ රටේ ඇති වටිනා සම්පත් භාවිතයෙන් රටේ දියුණුව සලසා ගන්නේ කෙලෙස දැයි සමාජයට ඒත්තු ගැන්විය යුතුය. නව රැකියා උත්පාදනය කල හැකි ආයතන හා සමාගම් ස්වෙච්ඡාවෙන් මේ සඳහා ඉදිරිපත් විය යුතුය.

මේ ආකාරයෙන් රටේ ඇති සම්පත් භාවිතයෙන් ආර්ථික දියුණුව කරා යාමේදි පරිසරයට වන හානිය ගැන නොසලකා සිටිය හැකි නොවේ. 15 වන ඉලක්කය වන භූගෝලීය පරිසර පද්ධතීන්ගේ තිරසර භාවිතය, වනාන්තර කලමනාකරණය, කාන්තාරීකරණයට එරෙහිව ක්‍රියා කිරීම ප්‍රතිස්ථාපනය කර ප්‍රවර්ධනය කිරීම, ඉඩම් හායනය නැවැත්වීම හා පුණරුත්තාපනය, සහ ජෛව විවිධත්ව විනාශය නැවැත්වීම යන්න ගත් විට, දැනට ලංකාවේ වනාන්තර විනාශය විශාල ගැටලුවක් බවට පත්ත ඇත. එයට දේශපාලන මැදිහත් වීම් පවා දැකිය හැකි වීම සැබවින්ම අභාග්‍යකි. නමුත් ලංකාවේ සිටින බොහෝ පරිසර ක්‍රියාකාරීන්ගේ ස්වෙච්ඡා මැදිහත් වීම් නිසා පරිසර විනාශය යම්තාක් දුරට පාලනය වී ඇතත්, දේශගුනික වෙනස් වීම් පාලනය කිරීමට එවන් සුලු පිරිසකට කල නොහැක්කකි. ඒ සඳහා රටේ සියලු දෙනාගේ මදිහත් වීම ලබා ගැනීමට හොඳම ආකාරය ස්වෙච්ඡා සේවයයි. මේ ස්වෙච්ඡා සේවය යනු මහා පරිමාණයෙන් සමාජ මාධ්‍ය තුල කතා කෙරෙන පත්තර වල ලිපි ලියන ආකාරයේ සේවයක් නොවන වග අප සමාජයට පෙන්විය යුතුය. එවිට මේ සමාජ සේවය යම් පිරිසකගේ පමණක් කාර්යයක් වීමෙන් වළකිනු ඇත. සෑම පුද්ගලයෙකු තුලම ස්වෙච්ඡා සේවකයෙකු ඇත යන සංකල්පය මෙහිදී ඉතා ප්‍රභල දෙයකි

පරිසර හානිය වැලැක්වීම හා සං‍රක්ෂණය ඔස්සේ යන විට, සාමාජික නැතහොත් පුද්ගලයාට  ඍජුවම බලපාන තිරසාර සංවර්ධන ඉලක්කද මෙහි ඇත. 03 වන ඉලක්කය වන්නේ නිරෝගී ජීවිත සහතික කර සෑම වයසකම සිටින සියල්ලගේම සුබසාධනය ප්‍රවර්ධය කිරීම ගත් කල, ලංකාව තුල දිනෙන් දින වකුගඩු රෝගය හා අනෙක් රෝග වැඩි වීමක් මිස අඩු වීමක් නම් නැත. ලංකාවේ රෝහල් ජාලය තුල සියලුම රෝගීන් හට සේවාවන් සැපයීම පහසු කාරණයක් නොවේ. යමක් වීමට ප්‍රථම ඉන් වැළක්වීම සුදුසු යැයි කියමනක් සමාජයේ ඇත. එසේ නම් අප කල යුත්තේ මේ ආකාරයේ ලෙඩ රෝග ඇති වීමට බලපාන හෙතු කාරක නැති කිරීම නොවෙද. ඒ සඳහා මේ ස්වෙච්ඡා සේවය අමිල මෙහෙයකි. දැනටමත් ලංකාවේ සමාජ ක්‍රියාකාරීන් මේ ආකාරයේ සමාජ ප්‍රශ්න ගැන සමාජය දැනුවත් කිරීම කරමින් සිටිති. ඉතින් මේවා තව දුරටත් වැඩි දියුණු කිරීම අගනේය.

ලංකාවේ නැතත් බොහෝ රට වල මේ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ කාර්යයභාරය තුළ ඉහළින්ම සිටින්නේ සමාජ වැඩ වෘත්තිකයාය. මන්ද යත් ඔහු මේ කාර්ය තුල සමාජය හා ඍජුව ගනු දෙනු කිරීමට හැකි පුද්ගලයාය. නමුත් අවාසනාවකට ලංකාවේ සමාජ වැඩ වෘත්තිය කුමක්ද යන්න පවා සමාජය දන්නේ නැත. ලංකාවේ සමාජ වැඩ වෘත්තිකයන් සිටියත් ඔවුන්ට මෙම අවස්තාව හිමි වන්නේද නැත. එය ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා යන ගමනේ එක් දුර්වලතාවයක් වශයෙන් පෙනෙන්නට තිබේ.

මෙම ඉලක්ක තුනට අමතරව ඇති අනෙකුත් ඉලක්කයන් 14ම ඇත්තේ ලොව මිනිසාට ජීවත් වීමට වඩාත් සුදුසු ස්ථානයක් බවට පත් කීරීමට ක්‍රියාත්මක කිරීමට කල යුතු දේවල් ය. කොටින්ම එහි කාන්තා පිරිමි සම අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම දක්වා විහිදී ඇත. මේවා ගැන සමාජයේ ඇති දැනුවත් භාවය සැබවින්ම ප්‍රමාණවත් නොවේ. හැරත් තිරසාර සංවර්ධනයේ සිටින්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. දරුවන්ද මේ කුලකයේ සිටිති. ඉතින් ඔවුන්ගේ දැනුවත් භාවයද ඉතා වැදගත්‍ ය. මේවා ඔවුන් අතරට ගෙන යාමට නම් කවුරුන් හෝ ඉදිරිපත් විය යුතුනොවෙද? ඒ මඟ යාකෙරෙන පාළම ස්වෙච්ඡා සේවයයි.

ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයක් කරා යාමට 2017 වර්ෂයේදී ආණ්ඩුව විසින් උපදේශක මණ්ඩලයක් හා තිරසර සංවර්ධනය උදෙසා වෙනම අමාත්‍යංශයක් ද ස්ථාපනය කර ඇතත් 2030 වන විට අපේක්ෂිත ප්‍රතිඵල වලට යා හැකි දැයි යන්න අවිනිශ්චිතය. එසේ නම් අප කල යුත්තේ ඒ සඳහා වෙනත් මාර්ගයක් භාවිත කිරීමයි. ඒ සඳහා වඩාත් සාර්ථකම ක්‍රමය ස්වෙච්ඡා සේවයයි. ඒ සඳහා හැකියාව ඇති පුද්ගලයන්ට අත හිත දීම රජයේ එක් විශාල වගකීමකි. මන්ද ඒවාට නෛතිකමය පහසුකම් ලබා දිය හැක්කේ ඔවුන්ටය. වත්මන් ආණ්ඩුව විසින් තිරසාර සංවර්ධන ප්‍රතිපත්ති වලට මූලිකත්වය ලබා දෙමින් 2017 වසර “දිළිඳුකම තුරන් කිරීමේ වසර” ලෙස නම් ඒ සඳහා විවිධ ආකාරයේ වැඩසටන් දියත් කර 2006දී 15.2%ක්ව පැවති දරිද්‍රතා මට්ටම 6.7%ක් දක්වා අඩු කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත. එනම් අපට ලංකාවේ දාරිද්‍රතාවය නිම කිරීමට තව යාමට ඇත්තේ කුඩා දුරකි.

මෑතකදී ලංකාවේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනු සනීපාරක්ෂක තුවා ගැටලුව ගත් කල, කුමන හෝ දේශපාලන වාසියක් තකා කතා කලත්, ඉන් අපට අවධාරණය කර ගන්නට ලැබූ දේ නම් ලංකාවේ තවමත් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නොහැකි ඒ මුදලත් තම නිවසේ වියදම් වලට යොදවන කාන්තාවන් හා ගැහැනු දරුවන් සිටින බවයි. මේවා දරිද්‍රතාවයේ සංකේතය. අඩුම තරමේ සනීපාරක්ෂක තුවා වෙනුවට වෙනත් රෙදි තුවා භාවිතයෙන් සිදු වන අහිතකර ප්‍රතිඵල ගැනවත් ඔවුන් දැනුවත් නැත. අනෙක් දෙය නම් සෙලියුලෝස් වලින් සකසන සනීපාරක්ෂක තුවා බැහැර කිරීමෙන් පසු ඒවා යන්නේ කොහිටද දැයි කාන්තාවක් වශයෙන් මා පවා දන්නේ නැත. සමහරවිටෙක බ්ලූමැන්ඩල් හෝ මීතොටමුල්ල කුණු කන්දට විය හැක. ඉතින් නොමිලයේ සනීපාරක්ෂක තුවා කාන්තාවන්ට ලබා දීම සුරංගනා කතාවක් වැනි කමණීය දේශපානල පොරොන්දුවක් බව සත්‍යය. ලොව බොහෝ දියුණු රටවල් වල මේවා නොමිලයේ හා ඉතා පහසු මිලට දෙනු ලබයි. නමුත් ඔවුන් ගාව මේවා බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක් ඇත. ප්‍රතිචක්‍රීකරණය කිරීමට හා වීමට තාක්ෂණය ඔවුන්ට ඇත. අපට එසේ කල නොහැකි නම් මේ නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දීම වෙනුවට වෙනත් විසඳුම් වලට යා හැක. උදාහරණයක් ලෙස නැවත භාවිත කල හැකි වර්ගයේ සනීපාරක්ෂක තුවා හා කප් හැඳින්විය හැක. මේ උදාහරණයෙන් මා හට කියන්නට අවැසි වන්නේ එක් තිරසාර සංවර්ධන ඉලක්කයක් සපුරා ගනිද්දි තවත් තිරසාර සංවර්ධනයකට අසාධාරණයක් නොවිය යුතු බවයි. එවිට මෙහි තිරසාර යන වචනයෙන් වැඩක් නොවනු ඇත.

මේ සියල්ල සලකා බලා සමාජය දෙස හැරී බැලූ විට ගම්‍ය වන්නේ අපේ මිනිසුන් මේ තිරසාර සංවර්ධනයක් කරා යාමේ ගමනේ සියලු වගකීම් ඇත්තේ තමන්ට නොව යම් කණ්ඩායමකට පමණක් බව සිතාගෙන සිටීමයි. නමුත් සියලු දෙනාම මේ ගමනට අයිතිය. සියලු දෙනාටම එහි ආයෝජන ලැබේ. සියලු දෙනාටම පැවරී ඇති යම් හෝ වගකීමක් ඇත. ඉතින් අවශ්‍ය වන්නේ ඔවුන්ව මේ මාර්ගයට ගැනීමයි. ඒ සඳහා හොඳම මාධ්‍ය ස්වෙච්ඡා සේවයයි. එමඟින් මේ තිරසාර සංවර්ධනය ගැන අපට කතා කරමින් සිටීමට පමණක් අවශ්‍ය වන්නේ නැත. එහි ප්‍රායෝගික පැත්තද දකින්නට ලැබෙනු ඇත. මන්ද සෑම පුද්ගලයෙකු තුලම ස්වෙච්ඡා සේවකයෙකු ඇත.

ජාතික සමාජ සංවර්ධන ආයතනයේ සමාජ වැඩ උපාධිය හදාරණ 2018-2019 වසර සිසුන් තිරසාර සංවර්ධනයේ 13 වන ඉලක්කය වන දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම් වලට එරෙහිව කඩිනමින් ක්‍රියාත්මක වීම යන ඉලක්කය වෙනුවෙන් සමාජ වැඩ විෂයේ ඇති හරිත සමාජ වැඩ සංකල්පය පෙරදැරිව ඔවුන්ගේ Rail and Green ව්‍යාපෘතිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ක්‍රියාත්මක කරන ලදි. ස්වෙච්ඡා සේවය යනු අන්‍යයන්ට එයට මඟ පෙන්වීමට වඩා තමා තුල සිටින්නා වූ ස්වෙච්ඡා සේවකයා අවධි කිරීම නොවෙද?

නිලුපුලී නයනතාරා ජයතිලක
20 November 2019
නිලුපුලී  වර්තමානයේ ජාතික සමාජ සංවර්ධන ආයතනයේ, දෙවන වසර (සමාජ වැඩ ශාස්ත්‍රපති උපාධිය) හදාරමින් සිටී.

Comments(0)

  • Login or Register
  • Forgot Password
  • New Password
  • Register
Enter your information below
Enter your information below
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.